Monday, 29 April 2024

සංවිධානාත්මක මුල්‍ය විනයක වැදගත්කම ගැන ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Posted On Friday, 14 July 2023 04:54

සංවිධානාත්මක මුල්‍ය විනයක වැදගත්කම ගැන

ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

 

ජාතිය ගොඩනැගීමේ දී මුල්‍ය විනයෙහි වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ රජයේ ආදායම් උත්පාදනය කිරීම සඳහා විධිමත් නව ක්‍රියාමාර්ග කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

වර්තමානයේ රාජ්‍ය වියදම් බොහෝ විට එම අරමුණ ඉටුකර ගැනීමට අපොහොසත් වන බැවින් රජය වැය කරන සෑම රුපියලකම වටිනාකම උපරිම කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍යයට නව ආදායම් උත්පාදන ක්‍රමෝපායන් යෝජනා කිරීමේ අරමුණින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවේදීය. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් එම වාර්තාව (12) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

රටේ ආර්ථික අර්බුදයට හේතු වී ඇති රාජ්‍ය ආදායම නොසලකා හැරීම පමණක් නොව රාජ්‍ය මුදල් අසීමිත ලෙස ප්‍රයෝජනදායක නොවන ක්‍රියාකාරකම් සඳහා වියදම් කිරීම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළේය. පසුගිය වසර දෙක තුනක කාලය තුළ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සාකච්ඡා නොපැවැත්වීම වත්මන් මූල්‍ය ගැටලුවලට හේතු වී ඇති බව ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ ආදායම් බදු කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව තුළ කමිටු කිහිපයක් ස්ථාපිත කර ඇති බව ඔහු රැස්ව සිටි පිරිසට දැනුම් දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ව්‍යුහගත රාමුවක් ස්ථාපිත කිරීම ඉලක්ක කරගත් නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් වේ. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා නව ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීම සහ මෙම ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ඩිජිටල් ආර්ථික යටිතල පහසුකම් නිර්මාණය කිරීම ද යෝජනා කරයි. මෙම යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර පාර්ලිමේන්තු ක්‍රමවේද පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.