Monday, 29 April 2024

ඉන්ධන මිල සූත්‍රය වෙනුවට ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්

Posted On Monday, 24 July 2023 10:10

ඉන්ධන මිල සූත්‍රය වෙනුවට ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්

 

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට ඇතුළු වීමට ගිවිසුමක් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගමෙන් පළමු ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ප්‍රකාශ කළා.

මේ අතර ඉන්ධන මිල සූත්‍රය වෙනුවට උපරිම සිල්ලර මිලක් ලබාදීමට පියවර ගන්නා බවත් එමගින් රටට වාසිදායක ඉන්ධන තරඟකාරීත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.

QR කේතය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන අතර අගෝස්තු මාසයේ සිට මිල සූත්‍රය යටතේ සියලුම ඉන්ධන සමාගම් වෙත රජය විසින් උපරිම සිල්ලර මිලක් නියම කරන

බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ අද (23) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ‘ස්ථාවර රටක් සඳහා සාමූහික මාවත’ යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවකදීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය රටේ ආර්ථික අර්බුදය තුළ දැඩි ලෙස පීඩාවට පත් වූ අමාත්‍යාංශවලින් එකක් බව චානක පැවසීය. තෙල් පෝලිම් යුගයක් තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසු ඉන්ධන අර්බුදය විසඳීමේ අභියෝගය භාර ගත්තේ කාංචන විජේසේකර ඇමැතිවරයාය.

ඒ කාලේ රටේ ඩොලර් තිබුණේ නැහැ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සපයන්නන් 28 දෙනාගෙන් දෙදෙනෙකු පමණක් ඉන්ධන සැපයීමට ඉදිරිපත් විය. එදා තත්ත්වය එහෙමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපත් ආර්ථික ප්‍රතිපත්තියට පින්සිදු වන්නට රටේ ඩොලර් සංචිතය ස්ථාවර වන්නට පටන් ගත්තේය. අනෙක් අතට කාංචනා අමාත්‍යවරයාගේ කළමනාකරණ උපාය මාර්ගයට අනුව QR කේතය භාවිතයෙන් රටේ පවතින ඩොලර් ප්‍රමාණයට අනුව පාරිභෝගිකයින්ට ඉන්ධන සැපයීමට හැකි විය.