Sunday, 28 April 2024

පොලිස් ස්ථානාධිපතිවරයා වසර 19 කට පසු මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස්

Posted On Thursday, 27 July 2023 17:25

පොලිස් ස්ථානාධිපතිවරයා වසර 19 කට පසු මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස්

 

2004 වසරේ සිදු වූ ව්‍යාජ ලේඛනයක් සම්බන්ධයෙන් එල්ල වූ සියලු චෝදනාවලින් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ හිටපු ස්ථානාධිපති විජිත් වීරසිංහ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය (26)නියෝග කළේය.

 විදේශ රැකියාවක් ලැබී නිවාඩු ලබා සිටි රක්ෂිත පොලිස් කොස්තාපල් මරික්කාර් කබීර් යළි සේවයේ පිහිටුවීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කළැයි හිටපු ස්ථානාධිපතිවරයාට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණා. විදේශ රැකියාව නිමවා ශ්‍රී ලංකාවට පැමිණි වහාම තමා යළි සේවයේ පිහිටුවන ලෙස තමන් පොලිස්පතිවරයාට සහ ශ්‍රී ලංකා පොලිස් රක්ෂිත මූලස්ථානයේ අණදෙන නිලධාරියා වෙත ආයාචනා කළ බවත් විත්තිකරු සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත් පොලිස් කොස්තාපල් කබීර් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. විත්තිකරු අධිකරණයට පැමිණීමට පෙර තමා කිසි දිනෙක දැක නැති බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය. ප්‍රශ්න කරන ලද ලේඛනවල අත්සන සමඟ සැසඳීමට විමර්ශන නිලධාරීන් විත්තිකරුගේ අත්සන නොගැනීම නිසා ප්‍රශ්නගත ලේඛනවල අත්සන් සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ප්‍රශ්න කළ ලේඛන පරීක්ෂක රජයේ රස පරීක්ෂක ජයසුන්දර සිය සාක්ෂියේ සඳහන් කළේය.

පැමිණිල්ල මෙහෙයවූ සාක්‍ෂි සලකා බැලූ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තිකරුට එරෙහිව මූලික නඩුවක් නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළේය. විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු සහ නීතිඥ සුදර්ශ ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.