Friday, 03 May 2024

පොලිසිය සහ නාවික හමුදාව එකතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් වළල්ලක්

Posted On Friday, 01 September 2023 06:31

පොලිසිය සහ නාවික හමුදාව එකතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් වළල්ලක්

 

නාවික හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් කැබ් රථයක්, යතුරුපැදියක් සහ රු. මිලියන 15 ක මුදලක් සහිතව සැකකරුවන් පස් දෙනෙකු,මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක නිලධාරීන් සැකයක් මත මාර්ගය අයිනේ නතර කර තිබුණ කැබ් රථයක් පරීක්ෂාවට ලක් කළ අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා නිර්මාණය කළ බවට සැක කෙරෙන විශේෂිත මැදිරියක් තිබීම හේතුවෙන් මෙම රථය අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, නාවික හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එම සැකකරුවන් හෙළිකළ තොරතුරු මත පසුගිය අගෝස්තු 30 වැනිදා උරුම්පිරායි සහ මාඩගල් ප්‍රදේශයන්හි වෙනම සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර එම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙම මෙහෙයුම්වලට සම්බන්ධ සැකකරුවන් මාදගල්, උරුම්පිරායි සහ ඌව කුඩාඔය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 සිට 53 දක්වා වයස්වල පසුවන්නන් වන අතර සැකකරුවන් සහ වාහන සහ මුදල් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කෝපායි පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.