Friday, 03 May 2024

අන්තර්ජාල ආරක්ෂණ පනතේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට

Posted On Wednesday, 04 October 2023 05:56

අන්තර්ජාල ආරක්ෂණ පනතේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට

 

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වූ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති තරිඳු උඩුවරගෙදර ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ නිර්ණ පෙත්සමක් ගොනු කළේය.

පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස මෙම පෙත්සම මගින් පෙත්සම්කරු ඉල්ලා සිටී.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත 2023 සැප්තැම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර 2023 ඔක්තෝබර් 3 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇතුලත් කරන ලදී.

පනත් කෙටුම්පතේ 5 වැනි වගන්තිය යටතේ ඔන්ලයින් ආරක්ෂණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට විධිවිධාන සලසා ඇති බව පෙත්සම්කරු කියා සිටියි. මෙම පනත් කෙටුම්පත සම්පුර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10, 12(1), සහ 14(1)(g) වගන්තිවලට හෝ ඒවායින් එකකට හෝ වැඩි ගණනකට නොගැලපෙන බවට තීරණය කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 සහ 84(2) වගන්තිවලට අනුව ජනමත විචාරණයකදී විශේෂ බහුතරයකින් සම්මත කර ජනතාව විසින් අනුමත කළ යුතුය.