Tuesday, 30 April 2024

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සේවා

Posted On Monday, 08 April 2024 07:54

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සේවා

 

අලුත් අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 10 දා සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙතින් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභපති පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ, අද (08) රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේ සම්බන්ධව කරන ලද විමසුමේ දී ය.

මෙම විශේෂ බස්රථ සේවාව පසුගිය 05 වන දා සිට ක්‍රියාත්මක වූ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මඟීන් ගේ පහසුව වෙනුවෙන් 10 වන දා සිට විශේෂ අතිරේක බස්රථ දිවයින පුරා යෙදවීමට කටයුතු කරන බව ඒ මහතා පැවසිය.

ඒ අනුව, සාමාන්‍ය දෛනික බස්රථ වලට අමතරව එක් කෙරෙන බස්රථ යෙදවීමට කටයුතු කරන බවත් සමස්ත බස්රථ 1400 ක් පමණ යෙදවෙන බවත්, මෙම විශේෂ බස්රථ සේවාව නැවත කොළඹ බලා පැමිණෙන මඟීන් වෙනුවෙන් ද ක්‍රියාත්මක කෙරෙන බවත් හෙතෙම පැවසිය.

එමෙන්ම, අධිවේගී මාර්ග වල ධාවනය වන බස්රථ වල ගමන් වාර වැඩි කිරීමට ද කටයුතු කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මෙහි දී රජයේ නිල පුවත් වෙබ් අඩවියට වැඩිදුරටත් ප්‍රකාශ කළේය.