Wednesday, 22 November 2017

මතු පරපුර වෙනුවෙන් අපේ උරුමයන් සුරකිමු

Posted On Saturday, 31 December 2016 07:12

රටක පුරාවිද්‍යාත්මක උරුමය අතීත මානව වර්ගයාගේ පැවැත්ම හා ක්‍රියාකාරකම් පිළිබඳ මූලික වාර්තාවකි. මෙකී පුරාවිද්‍යාත්මක උරුමයන් සකලවිධ ජාතීන්ට පොදු වස්‌තුවකි. සැබවින්ම රටකට පුරාවස්‌තුන් සම්පත් ආකරයකි. යුනෙස්‌කෝව මගින් ලංකාවේද ලෝක උරුමයන් ලෙස පුරාවිද්‍යාත්මක බිම්කඩවල් හතක්‌ නම්කොට තිබේ. ඒ අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව හා සිංහරාජ වනාන්තරයයි.


ලෝක උරුමයන් ලෙස සැලකෙන ස්‌ථාන හතක්‌ අප රට තුළ තිබීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ආඩම්බරයට පත්විය යුතු කරුණකි. මීට අමතරව මේ පුංචි දිවයින තවත් පුරාවිද්‍යාත්මක ස්‌ථාන රැසකින් සමන්විතය. එහෙත් මෙකී ලෝක උරුමයන් මෙන්ම අනිකුත් පුරාවිද්‍යාත්මක ස්‌ථානද වර්තමානයේ අතිශය ෙ€දනීය තත්ත්වයකට පත්වෙමින් තිබෙන්නේය.

මේවායේ නිසි කළමනාකරණයක්‌ නොමැති වීම නිසා එහි අමිහිරි ප්‍රතිඵලයන් වර්තමානයේ විවිධ වූ අයුරින් ක්‍රියාත්මක වන්නේය.

එනම් පුරාවස්‌තු හා කෞතුක වස්‌තු කොල්ල කෑම, ස්‌මාරක විනාශ කිරීම, අවිධිමත් ඉදිකිරීම්, සංවිධානාත්මකව සිදුවන පුරාවස්‌තු ජාවාරම්, අවිධිමත් සංරක්‍ෂණ ක්‍රියාදාමයන්, දේශපාලන ක්‍රියාකාරකම්, අවිධිමත් සංවර්ධන ක්‍රියාදාමයන්, පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර තුළ අනවසර පදිංචිවීම්, පුරාවිද්‍යා ස්‌මාරක සහ ස්‌ථාන හුදකලාවීම හා වල්වැදීම, ආර්ථික ක්‍රියාකාරකම්හි අවිධිමත් බව මිථ්‍යා මත හා ආගමික විශ්වාස යන හේතු නිසා පුරාවිද්‍යාත්මක උරුමයන් දිනෙන් දින විනාශවෙමින් පවතින්නේය.

මේ පිළිබඳ නිරන්තරයෙන් මාධ්‍ය මගින් අසන්නට හා දකින්නට ලැබේ. සීගිරිය සිංහපාදය අසල ආපනශාලාවක්‌ හා වැසිකිළි පද්ධතියක්‌ ඉදිකිරීම, ගාලු කොටු පවුර වැසී යන අයුරින් ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් මේ සඳහා උදාහරණයන්ය. ගාලුකොටු පවුර අබියස කොටු පවුරේ ඓතිහාසිකත්වයට පෞරාණික උරුමයන්ට එහි හැඩතලවලට හානිවන අයුරින් ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් පිළිබඳ යුනෙස්‌කෝව මගින් මේ ගැන පුරාවිද්‍යා බලධාරීන්ට අවවාද ද කොට ඇත. එම වැරදි නිවැරදි කර ගැනීමට කාලසීමාවක්‌ ද දී තිබේ.

මේ ආකාරයට අපේ ලෝක උරුම ස්‌ථාන තුළ හා අනිකුත් පුරාවිද්‍යාත්මක ස්‌ථාන තුළ සිදුවන විවිධ වූ ක්‍රියාකාරකම්, කප්පරකට විස්‌තර කළ හැකිය. ලෝක උරුමයන් තුළ සංස්‌කෘතික අමාත්‍යංශයේ අවසරයකින් තොරව කිසිදු ඉදිකිරීමක්‌ කිරීමට ඉඩ නොදෙන ලෙස ජාතික උරුමයන් හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පුරාවිද්‍යා හා මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ නිලධාරීන්ට ඉකුත්දා උපදෙස්‌ ලබා දුන්නාය. ලෝක උරුමයන්හි කැපී පෙනෙන විශ්වීය වටිනාකම එම උරුමය තුළ ආරක්‍ෂා වන්නේ නැතිනම් යුනෙස්‌කෝ සංවිධානයට එම උරුමය ලෝක උරුම ලැයිස්‌තුවෙන් පවා ඉවත් කළ හැකිය. නොඑසේ නම් එම උරුමය අවදානම් කලාපයක්‌ ලෙස නම් කළ හැකිය.

සැබවින්ම ලෝක උරුමයන් සුරැකීමෙහි ලා පුරාවිද්‍යා බලධාරීන්ට මෙන්ම පොදු මහජනතාවටද සුවිශේෂි වූ වගකීමක්‌ පැවරී තිබේ. ලෝක උරුමයක්‌ යනු කුමක්‌ද, ලෝක උරුමයක්‌ නම් කරන්නේ කෙසේද? එම උරුමය අවදානම් කලාපයට වැටෙන හේතු, ලෝක උරුමයන් සුරැකීමෙහි ලා අපගේ වගකීම, ආදි කරුණු කාරණා ගැන ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනාරච්චි මහතා හරි අපූරුවට විස්‌තර කරන්නේය. සැබවින්ම ලෝක උරුමයක්‌ යනු පරපුරක්‌ තවත් පරපුරක්‌ වෙනුවෙන් දායාද කරණ කැපී පෙනෙන විශ්වීය වටිනාකමක්‌ ඇති වස්‌තුවකි.

ලෝක උරුමයන් කොටස්‌ දෙකකට බෙදා වෙන්කළ හැකිය. ඒ ස්‌පර්ශනීය හා අස්‌පර්ශනීය වශයෙනි. ස්‌පර්ශනීය වස්‌තූන් සංස්‌කෘතික හා ස්‌වාභාවික වශයෙන් කොටස්‌ දෙකකට වෙන් කළ හැකිය. සංස්‌කෘතික උරුමයන් ලෙස සැලකෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද උරුමයන්ය. මෙහිදී ඓතිහාසික, සෞන්දර්යාත්මක, විද්‍යාත්මක මානව වංශ හෝ මානව විද්‍යාත්මක අගයන් ඇති ගොඩනැඟිලි බලකොටු ප්‍රතිමා, සිතුවම් දැක්‌විය හැක.

සංස්‌කෘතික උරුමය තුළ ජාතික අනන්‍යතාව හා පෞරුෂත්වය ගැබ්වී ඇත්තේය. ස්‌වාභාවික උරුමයන් යනු ස්‌වභාදහම විසින් නිර්මාණය කරනු ලබන වස්‌තූන්ය. ලෝක උරුමයන් නම් කිරීමේදී හා පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා අන්තර්ජාතික වශයෙන් සහයෝගය දක්‌වන ආයතනද කිහිපයකි.

මෙහි මූලිකත්වය හිමිවන්නේ යුනෙස්‌කෝ සංවිධානයටයි. එනම් එක්‌සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්‌කෘතික සංවිධානයයි. (UNESCO) ලෝක උරුම මධ්‍යස්‌ථානය, සංස්‌කෘතික ස්‌මාරක පුනරුත්ථාපන හා සංරක්‍ෂණය පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්‌ථානය (ICCROM) ලෝක සංරක්‍ෂණ සභාව (ICUN) ස්‌මාරක හා පුනරුත්ථාපන සංරක්‍ෂණය පිළිබඳ උපදේශක සභාව (I COMOS) මෙහි අනිත් ජාත්‍යන්තර මෙහෙයුම් ආයතනයි.

රටක උරුමයක්‌ ලෝක උරුමයක්‌ බවට පත්කිරීම ආවාට ගියාට කළ හැක්‌කක්‌ නොවේ. එය සිදුවන ක්‍රීයාවලියක්‌ තිබේ.

පළමුව කැපීපෙනෙන විශ්වීය වටිනාකමක්‌ ඇති උරුමයක්‌ හඳුනා ගත යුතුයි. ඉන්පසු එම රටේ රජය හා අදාළ අමාත්‍යංශය මගින් එම උරුමය ලෝක උරුමයක්‌ ලෙස නම් කරන ලෙස ඉල්ලා, යුනෙස්‌කෝ සංවිධානයට හා ලෝක උරුම මධ්‍යස්‌ථානයට දැනුම් දිය යුතුයි. ඉන්පසු එම උරුමය ඇගයීම හෙවත් නිර්ණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ලෝක සංරක්‍ෂණ සභාවට හා අයිකෝමස්‌ (I COMOS) ආයතනවලට පවරනු ලැබේ. ඇගයීම් වාර්තාව සකස්‌ කරන කමිටුව හත්දෙනකුගෙන් යුක්‌තයි. ලෝක උරුම කමිටුව විසිඑක්‌ දෙනකුගෙන් සමන්විත වෙනවා.

ලෝක උරුමයක්‌ නම් කරන්නේ 1972 යුනෙස්‌කෝ ප්‍රඥප්තියේ ලෝක උරුමයන්ගේ පැවැත්ම හා සැබැඳි නීතිමය ආරක්‍ෂක රාමුව තුළය. ලෝක උරුමයක්‌ නම් කිරීමේදී නිර්නායක දහයක්‌ පිළිබඳ සලකා බලන අතර අද්විතිය ගුණය, නැවත නිර්මාණය කළ නොහැකි ගුණය, යථාරූපි ගුණය, රූපමය ගුණය පිළිබඳ කරුණු මෙහිදී පදනම් කරගනී. ස්‌වාභාවික උරුමයන් දුලබ ශාක හා සත්ව මෙන්ම භෞතික හා භූවිද්‍යාත්මක පිහිටීම වශයෙන් කොටස්‌ දෙකකි. අස්‌පර්ශනිය උරුමයන් වශයෙන් කර්මාන්ත, කලාශිල්ප, සිරිත් විරිත්, ශාස්‌ත්‍ර ආදිය හැඳින්විය හැක. දැනට ලෝකයේ ලෝක උරුමයන් ලෙස පුරාවිද්‍යාත්මක බිම්කඩවල් 890 ක්‌ නම්කොට ඇති අතර ඉන් 689 ක්‌ සංස්‌කෘතික උරුමයන්ය. 176 ක්‌ ස්‌වාභාවික උරුමයන්ය. 25 ක්‌ සංයුක්‌ත උරුමයන්ය. ලෝක උරුම අතුරින් පැරැණි ලොව පුදුම හත වන්නේ ඕපිසස්‌හි ආට්‌මස්‌ දේවස්‌ථානය, කලිකානසස්‌හි සොහොන් ගැබ, රොඩිස්‌ගේ සුවිසල් ප්‍රතිමාව, බැබිලෝනියාවේ එල්ලෙන උයන, ඔලිම්පියාහි සියුස්‌ දේව ප්‍රතිමාව, ඇලෙක්‌ සැන්ඩි්‍රයාවේ ප්‍රදීපාගාරය, ඊජිප්තුවේ පිරිමිඩයි.

වර්තමාන පුදුම හත වන්නේ ඊජිප්තුවේ පිරිමිඩ, එAචන් ඉව්ස්‌ පිරිමිඩ, රෙඩ්මහි ක්‍රිස්‌තුන් වහන්සේගේ ප්‍රතිමාව, කොලොසයම් රඟහල, චීන මහාප්‍රකාරය, මාවූ පිචූ භූමිය, පෙට්‍රා බලකොටුව, ඉන්දියාවේ ට-මහල්ය.

රටක උරුමයක්‌ ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීම නිසා එම රටට අත්වන පල ප්‍රයෝජනද රාශියකි. එම ලෝක උරුමය ආරක්‍ෂා කිරීමට හා සංරක්‍ෂණය කිරීම සඳහා ලෝක ස්‌මාරක අරමුදල මගින් මුදල් ලබා දෙන්නේය. ඒ සඳහා එම අරමුදලෙන් නිරන්තරයෙන් ඉල්ලීම් කළ යුතුය. අපේ රටේ ලෝක උරුම හත සඳහා එම අරමුදලෙන් මුදල් ලබා ගන්නවාද යන්න ගැටලුවකි. සැබැවින්ම, ලෝක උරුමයක්‌ ලෙස පුරාවිද්‍යා බිම්කඩක්‌ නම් කිරීම නිසා එම උරුමය ආරක්‍ෂා කර ගැනීමට හා සංරක්‍ෂණය කර ගැනීමට මුදල් ලැබෙන්නේය. මෙම ක්‍ෂේත්‍රයේ නිලධාරීන්ට පුහුණුවීම් ලැබේ.

අනිත් කාරණය වන්නේ ලෝක උරුමය වශයෙන් නම්කොට ඇති ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය විශාල වශයෙන් දියුණුවීම හා ලෝක උරුම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට විදේශීය රටවලදී ලැබෙන පිළිගැනීමයි.

ලෝක ස්‌මාරක අරමුදලෙන් අපේ රටේ තිබෙන ලෝක උරුමයන් නඩත්තු කිරීමට මුදල් ලබා ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙළක්‌ නැත. ව්‍යාපෘති සකස්‌ කරලා එම ආයතනයට දන්වලා නිරන්තරයෙන් අන්තර්ජාලය හරහා එම ආයතනය සමග ගනුදෙනු කළ යුතුයි. නමුත් අපේ රටේ එහෙම වැඩපිළිවෙළක්‌ නැත. ඇත්තටම ගාලු කොටුව ගාලු දිස්‌ත්‍රික්‌කයට විශාල සම්පතක්‌. එම සම්පත අපි නියම විදියට නිශ්චිත වැඩපිළිවෙළක්‌ යටතේ භාවිතා කළොත් ගාලු දිස්‌ත්‍රික්‌කයම සංවර්ධනය කරන්න පුළුවන්.

කෙසේ වුවද දැනට ලෝක උරුම බිම්කඩවල සිදුවන නොයෙකුත් මානව ක්‍රියාකාරකම් නිසා ලෝක උරුම තිස්‌දෙකක්‌ ලෝක උරුම ලැයිස්‌තුවේ අවදානම් කලාප ලෙස නම්කොට ඇත. කාම්බෝජයේ අංහකෝර විහාරය, ඉන්දියාවේ ලාහෝර් උද්‍යානය, ඊජිප්තුවේ අඩු මේනු පරිශ්‍රය, නේපාලයේ ඒනවන්හි රාජකීය උද්‍යානය ඉන් කිහිපයකි.

අපේ රටේ ලෝක උරුම ස්‌ථානවල නව ඉදිකිරීම් සිදු කිරීමේදී ලෝක උරුම බවට පත්කළ සාධකවලට හානි පැමිණිය හැකි බවත් එසේ වුවහොත් අපේ ලෝක උරුමයන් ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බැව් ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉකුත් දා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබිණි. සැබැවින්ම දැනට අපේ රටේ ලෝක උරුම බිම් කඩවල සිදුවන නොයෙකුත් මානව ක්‍රියාකාරකම් දිගින් දිගටම සිදු වුවහොත් අපේ ලෝක උරුමයන්ද ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත්වීමේ අවදානමක්‌ තිබේ.

මතු පරපුර වෙනුවෙන් මෙකී උරුමයන් රැක ගැනීම සඳහා බහුතරයක්‌ වූ පහළ ස්‌ථරයේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම පුරාවිද්‍යා බලධාරීන්ගේ වගකීමකි. මක්‌නිසාද යත් බහුතරයක්‌ වූ පහළ ස්‌ථරයේ ජනතාව මේ ගැන දැනුවත් නොවීම හේතුවෙන් බොහෝ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ආරම්භයේදී එම සැලසුම්, ලත්තැනම ලොප් වූ අවස්‌ථා ඕනෑතරම් දැකිය හැකි බැවිනි. මෙකී දැනුවත් කිරීම් ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් සමගාමීව ද්වි මාර්ගික ක්‍රියාවලියක්‌ ලෙසින් ක්‍රයාවට නැඟිය යුතුය.

මේ ගැන ජනතාව නිවැරදිව දැනුවත් කරන්න ඕන, ඉතිහාසය පිළිබඳ ඉගෙනීම හා ඉගැන්වීම, අපේ උරුමයන් පිළිබඳ නිවරැදි දේශපාලන ප්‍රතිපත්තියක්‌ හා උරුම ස්‌ථාන ගැන නිසි කළමනාකරණයක්‌ ඇති කිරීම, උරුම ස්‌ථාන සැලසුම් සහගත ලෙස පාලනය කිරීම, දියුණුවන තාක්‌ෂණික ඥනය ආරෝපණය කිරීම, නීතිරෙගුලාසි සම්පාදනය හා නීතිය නිවරැදිව ක්‍රියාත්මක කිරීම. මේ කරුණු කාරණා අපේ උරුමයන් ආරක්‍ෂාකර ගැනීමේදී ක්‍රියාවට යෙදිය යුතු බැව් තරංග ලියනාරච්චිගේ අදහසයි. මේ ක්‍රියාව අසාර්ථක වුවහොත් අපේ සංස්‌කෘතික සම්පත් විනාශය දිනෙන් දිනම උග්‍රවෙමින් පැවතීමට පුළුවන. මේ නිසා මතු පරපුර වෙනුවෙන් ලෝක උරුමයන් හා පුරාවිද්‍යාත්මක ස්‌ථාන සුරැකීමට අප සියලු දෙනාම පෙළ ගැසිය යුතුය.

ලලිත් චාමින්ද

Read 201 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!