Wednesday, 22 November 2017

සොදුරු පරිසර දසුන් නොනසමු

Posted On Saturday, 31 December 2016 15:58

එකිනෙකට සම්බන්ධ, කාලීන  වශයෙන් ඉහළ වැදගත් කමක් ගන්නා,අංශ කිහිපයක් ගැන විග්‍රහ කිරිම මෙම ලියමනෙහි අරමුණයි. මිල කළ නොහැකි දායාදය වන පරිසරය, ජන දිවියේ ආධ්‍යාත්මය මුදුන් කරන ආගම දහම හා එම අංශ සම්බන්ධ කරමින් සම්මත සමාජයක් ගොඩනගා ගැනිම යන පරමාර්ථ මෙහිදි ප්‍රමුඛ වේ. 

වත්මන් සමාජය තුල විෂමාචාරයේ චිරස්ථිතියක් ස්ථාවර වෙමින් තිබේ.එයින් කියැවෙන්නේ බහුතර පිරිසකගේ අධ්‍යාත්මයේ වියවුලක් පවතින බවයි.මානසික වශයෙන් ආධ්‍යාත්මික සංවර්ධනය,මානව සම්පත තුල ගොඩ නැගෙන්නකි.එමෙන්ම එය සංවර්ධන අංශ වලින් උසස්ම සංවර්ධනය ද වේ.ආර්ථික අයහපත,සෞඛ්‍ය,පාරිසරික ඇතුළු භෞතික සංවර්ධනයට අයත් සියලු තන්ත්‍ර නිවැරදිව උස් තලයකට ගෙන ආ හැක්කේ ආධ්‍යාත්මික සංවර්ධනයේ එළියෙන් බව සැම තරාතිරමක පුද්ගලයෙකු කඩිනමින් හැදිනගත යුතු වේ.
 
මේ කෙටි පොදු පුර්විකාව ගෙන ආවේ,පරිසරය පුජනීය බවත්, එය සුරක්ෂිත කිරිමට වත්මන් සමාජය රිසියෙන්-නිසියෙන් ක්‍රියා නොකරන බවත් පැහැදිලි කිරිම පහසු කර ගැනිම පිණිසයි.
 
පරිසරය පෙරටුකොට, බිදියි මිනිසා පළමු, සිව්වන,  සිල් පද
 
පරිසර විනාශයේ ප්‍රතිවිපාක  අනන්තව දැක්විය හැකිය . අනෙක් අතින් රටක ස්ථිර පුරවැසියකු නම් ඔහුට හෝ ඇයට කොන්දේසි විරහිතව උරුමවන වගකීම් අතර පරිසර සුරක්ෂිතතාවට දායක වීම ප්‍රමුඛ වේ. එහෙත් මානයක් සළකුණු කර නොගත් තරගකාරි ආර්ථික ප්‍රවණතා හේතුවෙන් අපට ඡිවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බව බොහෝ අයට අමතක වි තිබේ. උදාහරණයක් ලෙස පැවසුවහොත්  රුක් රෝපණ වැඩසටහන් වාර්ෂිකව ක්‍රියාත්මක කළ ද එම රෝපණයන් කෙමෙන් වැඩී පරිසරයට එකතු වු අවස්ථා හිගය.
 
මෙහිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කී කතාවක් ද සිහිපත් වේ. " දැන් අපි කළ යුත්තේ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවාට වඩා රෝපණය කරන ලද ලක්ෂ සංඛ්‍යාත පැළ වැඩී විසල් වන තෙක් ආරක්ෂා කිරිමේ වැඩසටහන් ආරම්භ කිරිමයි." යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.ආසර්ථක රුක් රෝපණ ව්‍යාපාර  අභිමුඛව එතුමන් කී කතාවේ සත්‍යයක් නැත්තේ නොවේ.රුක් රෝපණයෙන් සිත් සනසා ගත්ත ද එයින් පරිසර කුමරිය සැනසෙන්නේ නැති නම් මනු දිවියේ අනාගතය අභාග්‍ය සම්පන්නය. විශ්වාසයෙන් එය සදහන් කරන්නේ මිනිසා විසින් පරිසරයට වින කළ හොත් පරිසරය ඊට දෙගුණයකින් මිනිසාට දඩුවම් දෙන බව සත්‍ය කරුණක් වන බැවිනි.planting
 
තම ජිවිත කාලය තුල ජිවත් විම නොව ජිවත් විමට උත්සහ දරණ මිනිසුන් බහුතර පිරිසක් සිටින සමාජයක පරිසරය සුරක්ෂිතතාව පිළිබද ඇල්මක් සහිත ක්‍රියාකාරිත්වයක් මතු නොවිම සාමාන්‍යය. කලුවර ලීයෙන් කවිච්චියක් ,නැදුන් ලීයෙන් ඇදක් ,පළු ලීයෙන් පරාල තනන මිනිසුන් ගැවසෙන සමාජයක කිසිදු අංශයකින් පරිසරය සුරක්ෂිත වන්නේ නැත. ඇතැම් විට පරිසර රකින්නට වගකිම් භාරගෙන ඇති ඇතැම් නියමුවන් විසින්ම පරිසර විනය කඩ කරන අවස්ථා හිග නැත. ඔවුන් ක්‍රියා කරන්නේ පරිසරය රකින්නට නොව, නසන්නට නීතිමය අවසර ලැබී ඇතිවාක් මෙනි. එලෙස රඡකාරියේ වගකිම් ඉටු කරමින් අබිමන් ලැබිමට උත්සහා නොකරන්නේ අධ්‍යාත්මයේ වියවුල සමාජයට ප්‍රත්‍යක්ෂ කරමිනි.එසේ නම් පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුත්තේ හෘදය සාක්ෂිය, පුද්ගල උප විඥානය මුඛ්‍ය කරගෙන බැව් නිළයෙන් ඉහළ පහළ යන සෑම  සියළු දෙනාම සිත්හි රදවා ගත යුතුය.
 
තිරසාර පරිසරය මගින් තිරසාර සංවර්ධනයට
 
තිරසාර හෙවත් ධරණීය  සංවර්ධනයක් සාක්ෂාත් වන්නේ පරිසරය හා ආර්ථිකය සමබර වුවහොත් පමණි. එසේ නම් අප රටෙහි පවතින පරිසර අර්බුද, ඉන් ඇතිවන රෝගාබාධ, ජන පීඩාවන්, ස්වාභාවික විපත් සැලකිල්ලට ගන්නා විට, කිසිදු අයුරක තිරසාර බවක් ඇත්තේ යැයි විශ්වාස කළ නොහැකිය. ඒ තරමට පරිසරය මිනිසුන් සමග විරසක වී තිබේ. අධ්‍යාත්මයේ  වියවුලෙන් මත්ව බුද්ධි  හීනව ආර්ථික ප්‍රගමනයක් වෙනුවෙන් සිදු කරන හීන දින ක්‍රියාකලාපය මිට මුලික වී තිබේ.
 
අමිල දායාදය පරිසරය යැයි කියයි. සාහිත්‍යානුසාරිව නම් පරිසරය කුමරියකි. ආගමානුකූලව නම් පරිසරය පුජනියයි. එහෙත් මේ සියල්ල අද වන විට හැඩැති වචන පමණි. පරිසරය නිමක් නැතිව මිනිසාට පහර දෙන්නට පටන් ගෙන තිබේ. අම්ල වැසි වස්සයි. කාන්තාරිකරණය කැන්දයි. හිරු රැස් සැඩව සියොළග දවා මරණය ලගා කරයි. මිනිසුන් සිදු කරන පරිසරට අනම්‍ය ක්‍රියා වල විපාක මිනිසාට ප්‍රායෝගිකව දැනෙන්නට සලස්වයි. මේ සටහන තබන අවස්ථාවේදි ද දිස්ත්‍රික්ක ගණනාවක තැන තැන ස්වාභාවික විපත් ගොන්නකි. ගම්මාන පිටින් පස් කදු මතින් වැසෙයි. ගං වතුරට හසුවී මියදෙයි. නිවෙස් යට වෙයි. මේ හරහා කොයි කවුරුත් සිතිය යුතු කරුණක් තිබේ. මේවා ස්වාභාවික විපත් යැයි කියනවාට වඩා ස්වභාව ධර්මයට එරෙහි වී මිනිසා විසින් ඇති කරගත් කෘත්‍රිම විපත් යැයි කීම සාධාරණය. මිනිසාට තදින් දැනිය යුත්තේ මෙකි තත්වයයි.
 
 
ජන විඥ්ඥානය ඉවතට-පරිසරය විපතට
 
පාසල් අධ්‍යාපනයෙන් නොපොහොසත්, එහෙත් පරිසරය පිළිබද දත්,එකි තුල්‍යතාව නොබිදන ලද ගැමි දිවියේ සුන්දරත්වය සුරක්ෂිත කළ,බණ කතාවෙන්,වැඩිහිටි ඇසුරෙන්,ජනශ්‍රැතියෙන් හෘද සාක්ෂිය රෝපණය කරගත් පුරාණ ගැමියාගෙන් වර්තමානය යහපත් කරගැනිමට මනා දැනුමක් ලද හැකියි. ගැටළුව වී තිබෙන්නේ අප සම්ප්‍රදාය තුලින්,පාරම්පරික ස්වදේශිකත්ව අන්තර් ඥානය තුලින්,ජන විඥ්ඥානය තුලින් ඉවත් කර තිබෙන්නේ ඉවත් කළ යුතු දේ නොවේ. රැකගත යුතු දේ ඉවත් කර ඇත. ඉවත් කළ යුතු දේ රැකගෙන ඇත. ඊට හේතුව මයාකාරි ආර්ථික තරගයයි. සෑම කෙනෙකුටම මරණය ළගාවන බව නොදන්නා තරමටම එම තරගය උස් වී තිබේ.ඒ තරමටම පරිසරය  මිනිසාට  විරුද්ධ වි තිබේ.
 
ගොවිතැනට වස විෂ එකතු කරයි නම් එය පරිසරය ද විනාශ කර මිනිසා ද විනාශ කර ගනිමකි. දැන් පසට විවිධ රාසායනික එකතු කර වකුගඩු රෝගය වැනි භයානක රෝගාබාධ නිර්මාණය කර ඇත. ජලාශ සියල්ල අනවශ්‍ය ලෙස භාවිතා කර ඒවා තදින් අපවිත්‍ර කර තිබේ. වනාන්තර විනාශ කර අහස උසට ගොඩනැගිලි තනයි. එම නිසා අද පවතින්නේ පරිසර සුරක්ෂිතාවේ ස්ථාවරත්වය නොවේ. පරිසර විනාශයේ ස්ථාවරත්වයයි. වනාන්තර විනාශ කරයි.එයින් පාංශු ඛාදනයක් ඇති වේ.පසුව ගංගා ඇළ දොළ හි රොන් මඩ තැම්පත් වේ.එහි අවසාන ප්‍රතිඵලය ගංගා පිටාර ගැලිමයි. ගම් බිම් යට වෙන මෙම උවදුර මිනිසා කළ පරිසර විරෝධි ක්‍රියාවන්ට දඩුවම් නොවේද? අනෙක් අතට එම විනාශයන් සිදුවන ජනතාවට වන්දි ගෙවිමට රජයට සිදුවේ. එයින් රටක් සංවර්ධනයට යන ගමන අඩාල විම වැලැක්විය නොහැකියි.සොයා නොවිමසා බිම් ගොඩකර ගොඩනැගිලි තැනීම ජලය බැසයාම අවහිර කිරීමකි. පස්කන්ඩි කපා නිවාස තැනීම පස් කදු කඩා වැටිමට හේතුවකි. මේවා කෙතරම් පහදා දුන්නද ඒවාට මිනිසුන්ගේ කන් ඇසෙන්නේ නැත. එහෙත් ඔවුන්ගේ ඇස් ඇරෙන්නේ විපත් සිදු වු පසුවයි.
 anu
පරිසරය, බුදුන් වහන්සේගේ හා තවත් වියතුන්ගේ ඇසින්
 
මෙසේ පරිසරය සම්බන්ධයෙන් අදුරදර්ශිව කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ සතුන්ට ඇති පරිසර සංවේදි බව තරම් හෝ පරිසර සංවේදි බවක් මිනිසුන් තුල නොමැති බවයි. නමුත් පරිසරය පිළිබද විද්වතුන්,ආගමික නායකයින් කියු දෑ අපමණය.
 
ගෞතම බුදුන් වහන්සේ පරිසරය පිළිබදව හරවත් සංකල්ප ඉදිරිපත් කර ඇත.
 
" වනාන්තරය වු කලී තම පැවැත්ම ඉල්ලුම් කරන්නාවු ද, ජීව ක්‍රියාවලියෙදි තම නිෂ්පාදන පරිත්‍යාග කරන්නාවු ද, අසීමිත දයානුකම්පාවෙන් හා පරිත්‍යාගශිලිත්වයෙන් යුත් අපුරු ජීවියකි" මෙහෙයින් ජිවිතයට උපකාර කරන වනාන්තරයට ප්‍රති උපකාර දැක්විම මිනිසාගේ කෘත ගුණය විය යුතුය. ඒ වෙනුවට අද වනාන්තර සිද දමයි. ඒ නිසාම වනාන්තර වර්තමානයේදි සිදු කරන්නේ මිනිසාට පරිත්‍යාගශිලි වීම නොව ඔවුන්ට දඩුවම් ලබා දිමයි. ස්වාභාවික විපත් ආදිය මිනිසාට කියා දෙන්නේ එම පාඩමය.
 
පරිසරයේ සුන්දරත්වය පවත්වා ගැනිම, සුන්දර ජිවිතයකට ද හේතු වේ. බුදුන් වහන්සේ සුන්දර පරිසරය නිතරම වර්ණාවට ලක් කළේය. වස් වාසය කිරිමට පවා නෙත් පිනන සොදුරු තැන් තෝරාගත් සේක. ඒ සිත දවන නොව,  සිත නිවන තැන්ය. බුදුන් වහන්සේගේ උපත සිදුවන්නේත්, බුදු බව ලබන්නේත්, පිරිනිවන සිදුවන්නේත් පාරිසරික අතින් මනස්කාන්ත වු ස්ථාන වල ය. උන් වහන්සේ පරිසරයේ ඇති සුන්දර ස්ථාන මහත් අභිරුචියෙන් වර්ණාවට භාජනය කළේ ය.
                     "  රමණියං ආනන්ද ජාපාල චේතිං
                         රමණියංආනන්ද ගෝතමක චේතිං"           
අදි වශයෙන් අහස උස්ව ඇති චෛත්‍ය වර්ණනා කළේ එහි ඇති සුන්දරත්වය මනාව දකිමිනි,විදිමිනි.
 
අරිය පරියසේන සුත්‍රයේ පරිසරය පිළිබදව එහි සුන්දරත්වය පිළිබදව මෙසේ පහදයි.
 " මහණෙනි මම කුසල් යනු කුමක්දැයි සෙව්වෙමි. නිවන් සුවය සොයමින් සැරිසරන්නමි.ඌරුවේලාවේ සේනානි ග්‍රාමය කරා පැමිනියමි. එහි සිත්කළු භුමි භාගයද, මන්මත් කරවන වනයද, සුදු වැලිතලා සහිතව මනා කොට ගලා බස්නා නදියද, හාත්පස සුන්දර වු ගම්මාන ද දුටුවෙමි."
මීට අමතරව නිධාන සුත්‍රය, අභිධම්මක සුත්‍රය, මහා වග්ග පාලිය, මහා පරිනිබ්බාන සුත්‍රය, රුක්ඛ සුත්‍රය, උපොසථ සුත්‍රය, උපනියා සුත්‍රය, ධම්ම පදය ආදී බෞද්ධ මුලාශ්‍ර තුල ද,  පරිසරය පිළිබද බුදුන් වහන්සේ දක්වන ලද හිතකර ආකල්ප විග්‍රහ වේ.
 
බුදුන් වහන්සේ පමණක් නොව රතු ඉන්දියානු නායක "සියැටල්"ගේ පරිසරාභිමානි අදහස් ද මෙහි ලා එක් කිරිම යුක්ති යුක්තය.
"  සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජිවත් විය හැක්කේද? වන සතුන් සියලු දෙනා වැනසී ගිය හොත් ජිවිතයේ දැඩි හුදෙකලා බවින් මිනිසාද මිය යනු ඇත.මක් නිසාද සතුනට සිදුවන දේ නොබෝ කලෙකින් මිනිසාටත් සිදුවන හෙයිනි.ලෝකයේ පවත්නා සියලු දේ අතර ඇත්තේ එකිනෙකාට බැදුණු ඥාතිත්වයකි."
 
19 සියවසේ මැදභාගයේදි පමණ සියැටල් විසින් කරන ලද එම ප්‍රකාශය ඔප්පු වන කාලයකි,  දැන් ගෙවමින් පවතින්නේ. වදවී යන සත්ව,ශාක වර්ග වලින් රතු දත්ත ලැයිස්තුව පිරෙමින් තිබේ. "මිහිකත මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මිහිකතට අයිතිය." යනුවෙන් සියැටල් කරන සදහන කෙතරම් සාරගර්භ ද? මෙම අදහස් පිළිබද ප්‍රතිවිරුද්ද සිතුවිල්ලක් මවා ගනිමින් වර්තමාන මානවයා පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බව පෙනේ. කෙටියෙන්ම කියත හොත්  මිනිසා විසින් මිහිකත හසුරවන්නට පටන්ගෙන තිබේ.pinnawala sri lanka elephant orphange mysrilankatravel elaphant bathing
 
"ගසක් වැඩෙන්නේ යම් සේද ඊට අනුරූපව රටක සංවර්ධනය මිනිය හැක." යනුවෙන් ශ්‍රි ජවහල්ලාල් නේරු තුමන් ප්‍රකාශ කර ඇත. සත්‍ය වශයෙන් වැඩෙන ගස රටක සංවර්ධනයේ ජීවමාන සංකේතයකි. පරිසරය පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් නේරු  තුමන් මෙසේ ද කියා තිබේ.
  " අනේකවිද හේතුන් මත වනාන්තරය වැදගත් වේ. අප අකාරුණික ලෙස අනවශ්‍ය ප්‍රමාණයට අද වනාන්තර විනාශයට ලක්කර ඇති බැවින් තව දුරටත් එසේ විමට ඉඩ නොහැර රැක ගත යුතුය. වැඩිවන ජනගහනයට සරිලන සේ නිපැයුම් වර්ධනය කර ගත යුතු වුවත් ඒ සදහා වඩාත් ඵලදායී නිෂ්පාදන ක්‍රම උපයෝගී කරගන්නා විනා ආර්ථිකයේ ජිවනාලිය බදු වනාන්තර අවිචාරවත් ලෙස වැනසිම ඊට පිළියම් නොවේ."
 
නේරුතුමන් වනාන්තර විනාශය නොකළ යුතුය යන අදහස දක්වා දශක කිහිපයක්ම ගතව ඇත. එහෙත් අදටත් සිදුවන්නේ එහි අනෙක් පසයි. එනම් වන සංහාරය ශිඝ්‍රව සිදු වේ. ආර්ථිකයේ ජීවනාලිය වනාන්තර නම් එය සිදීම යනු ආර්ථිකය සිදගැනීමයි.
"මා ඕ සේතු "සදහන් කළ පරිදි" ගස් වැල් යනු ඇදහිය යුතු වස්තූන්ය." එය ආදි මානවයා පවා දැන සිටි බව සත්‍යකි. ප්‍රාග් මානවයා ගස් වලට වැදුම් කළා සේ අද ද එය සිදුකිරිම වරදක් නොවේ.
පරිසරය පිළිබද අපි කවුරුත් සිතිය යුතු ගැඹුර කොතරම් ද යන්න, අවබෝධ කරගැනීමට ඉවහල් වන  ඇමරිකානු ජනාධිපතිවරයෙකුව සිටි. "ෆ්‍රැන්ක්ලීන් ඩී රූස්වේල්ට්" මහතා ඉදිරිපත් කළ අදහස මෙසේ ය.
 
"දරුවන් නොලද ජනයාට බලාපොරොත්තු රහිත අනාගතයක් ඇත්තා සේම තුරුලතාවන් ගෙන් තොර රටක් නිෂ්ඵල බවක් උසුලයි. ජව ශක්තියෙන් නවිකරණය විය නොහැකි මුත් විසුල වනාන්තරයක් යනු දැව ඒකරාශි කළ ගබඩාවක්ම නොව දැව සංකිර්ණයක් සහිත මහා ජල ධාරාවක් රැස්කරනු ලබන ජලාශයකි. වනාන්තර සුරැකිමට ආධාර කරන ඔබ ජාතියේ සම්මානනීය පුරවැසියෙකු වනු ඇත."
මේ සියලු අදහස් තුලින් පරිසරයෙන් තොර ජිවයක් නැතැයි, යන්න ප්‍රත්‍යක්ෂ කරුණකි. එහෙයින් එය මින් මතුවට සුරක්ෂිත නොකළහොත් මේ මිහි මඩල ජිවින්ට අහිමි වන දිනය වැඩි ඈතක නැත.
 
පරිසරය පිළිබද ලෝක නැඹුරුව හා ශ්‍රි ලංකාව
 
ජිවීන්ට හිතකර තුලිත පරිසරයක් පවත්වා ගැනිම පදනම්ව ලෝකයේ රටවල් එක්ව ගැඹුරු පරිසර සංවිධානයන් පිහිටුවාගෙන ඇත . මෙහිදී ස්වභාවික විපත්,පරිසරය දුෂණය වීම,වනාන්තර විනාශය ආදිය ගැන ප්‍රමුඛ අවධානය යොමුකර තිබේ.1949 දී මතු වු "ස්වභාවධර්මයේ ආරක්ෂාව පිළිබද ජාත්‍යන්තර සංගමය"මගින් ලෝක සංරක්ෂණ ක්‍රමෝපායන් පෙන්වා දී ඇත.1968 දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන අනුව ගත් තීරණයක් මත පරිසරය පිළිබද සම්මේලනයක් 1972 දී පවත්වන ලදි. මෙම සංවිධානයෙන් වායු, සාගර හා වනාන්තර දුෂණය පිළිබද වැඩි නැඹුරුවක් දක්වයි. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ආරම්භ කරන ලද ජුනි 05 වන දිනය ජගත් පරිසර දිනය ලෙසද ප්‍රකාශයට පත් කළේය.
දේශගුණික විපර්යාස පිළිබද ලෝකයේ විවිධ රටවලින් නිතර අසන්නට ලැබේ. සෑම වසරකම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුව පැවැත්වෙන අතර 2009 වසරේ පැවති වැඩමුළුව විශේෂ විය. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවති මෙම වැඩමුළුව අතරවාරයේ දී එම ස්ථානයට රොක් වු පරිසර සංවිධාන රැසක් විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විය. සමුළුව මගින් ගන්නා තිරණ පරිසරය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකිරිම මෙම උද්ඝෝෂණ වලට හේතුවයි.
 
විශේෂයෙන්ම ඕසෝන් ස්ථරය සිදුරු වීම වැලැක්විමේ අරමුණින් ඇතිකරගත් "මොන්ට්‍රියල්" සම්මුතියද පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් ගත් ප්‍රධාන ක්‍රියාමාර්ගයකි. මෙහිදි අහිතකර වායුන් එකතුවන ලෙස කරන නිපදවීම් සීමා කිරිමට තිරණය කෙරිනි. මෙම ජාත්‍යන්තර ප්‍රවේශයන්ද ගුරු කොට ගනිමින් සොදුරු ශ්‍රි ලංකාවේ ද පරිසර සුරක්ෂිතතාව සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ආර්ථිකයේ සුබසාධනයත් ජීවිතයේ ගුණ පක්ෂකයත් යන දෑ අංශයම ශක්තිමත් කර ගැනිම පාරිසරික සිමා වලින් පිටතට නොයා සිදුකිරිමට අවශ්‍ය පරිසරය සැකසීම එම වැඩසටහන් වල පරමාර්ථයයි.
පරිසර සංරක්ෂණය සම්බන්ධ ජාතික වැඩසටහනක් වශයෙන් මෑත කාලයේ මෙලෙස ආරම්භ කරන ලද ආසන්නතම වැඩසටහන ලෙස "පුනරුදය- පාරිසරික සංවර්ධන"ජාතික වැඩසටහන හැදින්විය හැක.
 
එය 2016 වසරේ සිට 2018 වසර දක්වා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි. එම වැඩසටහන ප්‍රකාශයට පත් කරන ලද්දේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසිනි. පරිසරය සම්බන්ධයෙන් මෙරට පවතින ප්‍රධාන ගැටලුව හදුනා ගනිමින් ඒවාට තිරසාර විසදුම්  සෙවීම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වී තිබේ. එහිදී පරිසර දුෂණ පාලනය සදහා වැඩ ක්ෂේත්‍ර ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.
 
නිකසල ලංකා, නිකසල පුරවර, සුනිල සයුර, ජනදිවි රකින-ජල රැකවරණ, වන සරණ, හායන - සායන,ක්ෂේම භූමි, කැනීම් භූමි සායන, සාර නගර, දේශගුණ අනුහුරු, ජන අඩහැරය , ආදී වැඩසටහන් මෙන්ම පරිසරය සම්බන්ධ අංශ ගණනාවක විහිදී ගිය තවත් වැඩසටහන් රාශියක්  "පුනරුදය" වැඩසටහනට අන්තර්ගත වේ.පරිසරය සුරක්ෂිත කිරිමට පදනම්ව පරිසර සගරා,අත් පත්‍රකා,ජන මාධ්‍ය වැඩසටහන් ආදිය හරහා ජනතාව දැනුවත් කිරිම ද දිගින් දිගටම සිදුවේ. මෙම සියලු කටයුතු සදහා ඒකාබද්ධ ආයතන ගණනාවක් ශ්‍රි ලංකාව තුල ස්ථාපනය කර තිබේ. පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය,ආදිය ඉන් ප්‍රධාන ආයතන කිහිපයකි. තවත් ස්වෙච්ඡා පරිසර සංවිධාන, පරිසරවේදින් අපමණය.එහෙත් පරිසර අර්බුදය දිනෙන් දිනම උග්‍රය.ඊට හේතුව නම් මෙම සිදුකරන වැඩසටහන් සදහා නිසි නියාමනයක් අඛණ්ඩව රට පුරා නොපැවතිමයි.
 
පරිසර නියමු භට කණ්ඩායම් හරහා පාසල් ප්‍රජාව තුල පරිසරය පිළිබද ඇල්ම සහ මෙය සුරක්ෂිත කර ගැනිමේ අවශ්‍යතාව සමාජයට පහදා දිය හැකියි. එපමණක් නොව පාසල් අධ්‍යාපනයට පරිසරය පිළිබද විෂය ක්ෂේත්‍රය අනිවාර්ය කිරීමද වැදගත් වේ. ඒ තරමට කාලීන වැදගත්කමක් එහි පවති. බොහෝ දුරට පාසල් අධ්‍යාපනය තුල විහිදුණු පරිසර අධ්‍යාපනයක් ලබාදෙන්නේ නැත. එම නිසා පරිසර  විෂය ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි "වෙනම පරිසරය" යනුවෙන් විෂයක් අරඹා පරිසරයේ වටිනාකම පිළිබද පුළුල් කථිකාවක් කුඩා අවදියේ සිටම  ඒත්තු ගැන්වීමට පටන් ගැනිම අගනේය.
 
පොසොන් අභියස පවත්වන බොහෝ පෙර සුදානම් රැස්විම් වලදී පරිසරය සුරක්ෂිත කිරීම ගැන කථිකාවද ප්‍රධාන කොට ගනී. පෙර වසරේ තත්ත්ව, ගත් ක්‍රියාමාර්ග, ප්‍රගති සමාලෝචනය කරයි. මුදල්, කාලය, ශ්‍රමය වැයකර,ගන්නා ලද පරිසර ආරක්ෂක ක්‍රියාමාර්ග හා වාර්තා වු පරිසර අපවිත්‍ර කිරිම් සසදා බලන විට ලැබෙන පිළිතුරු අනුව පෙනෙන්නේ වියදම් වැඩි බවකි, ප්‍රතිඵල හිගකමකි.
මීට හේතු බොහොමයක් තිබේ. අප ජනී ජනයා යමක් ශ්‍රවණය කරන අයට වඩා යමක් ඇසීමට පමණක් පුරුදුව සිටින අයයි. ඇසීම එකකි. ශ්‍රවණය තවෙකකි. යමක් අවධානයෙන් ග්‍රහණය කරගැනීම ශ්‍රවණයයි. පරිසරයට ලොසින්ජරයක්, කොළ කැබැල්ලක් , ප්‍රසිද්ධ තැනකදී යමෙක් පරිසරයට මුදා නොහැර තම පසුම්බියෙහි දමා ගන්නේ පරිසරය කිළිටි වේය යන සිතිවිල්ල ආකල්පමය වශයෙන් ඇතිකර නොගෙන වන්නට පිළිවන. එසේ නම් කුමක් නිසාද? ප්‍රසිද්ධියේ එය පරිසරයට එකතු කිරීමට ඇති ලැජ්ජාශිලී බව නිසා විය හැකියි. කිසිවෙකුත් පෙනෙන මානයේ නොමැති නම් ඇතැම් විට එම ලොසිංජර කොළය ඔහේ ගුලිකර ඕනෑ තැනක හෙළීමට බොහෝ අය පසුබට වන්නේ නැත. ඔවුන්ට පරිසරය සුරැකිය යුතුය යන ආකල්පමය වෙනසක් ඇතිව නැත්තේ යැයි කියන්නේ ඒ නිසාය.
 
පරිසරය පිළිබද ගැඹුරු දැක්මක් අවශ්‍යම කාලයක පූජා පෙදෙසක් පවා අපවිත්‍ර කිරීමට පෙළඹෙන්නෝ නිසැකයෙන්ම පාපී දනෝ වෙති. ඇතැම් විට මේ සදහා නිල බලයට වඩා ධන බලය උසස් විම මෙන්ම මිනිස් මොළ හිස් වීම හේතු වී තිබේ. කොතරම් එළි දැල්ලුවද එලි නොවන ගැඹුරු අධ්‍යාත්ම වියවුල නැමැති අදුර අසීමිත වීම මීට හේතුවකි.
කෙසේ වෙතත් පෙර වර්ෂ වලට වඩා කිහිප ගුණයක ආයාසයකින් විසම්මුතියට ඉඩ දී සාමුහිකව මතු කරගත් අදහස් අනුව පොසොන් සමයේ දී මෙන්ම ඉදිරියටත් ස්ථිර සුරක්ෂිතතාවක් පතා පරිසරය පිලිබද තින්දු කිහිපයක්ම ගෙන ඇති බව පෙනේ. ඇතැම් තිරණ ප්‍රතිපත්තිමය වශයෙන් ගත් විට විශේෂ පුවත් මවන තිරණ බවට පත් විය. පෙර වසර වලදී මෙන්ම පරිසරය සුරකින සාමාන්‍ය ක්‍රියාමාර්ග තවත් සවිමත් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතරතුර ජගත් පරිසර දිනය යෙදි ඇති ජුනි 05 වන දා ජාතික වශයෙන් වන පරිසර  සුරක්ෂිතතා කාර්යයේ  දී අනුරාධපුරයේ පැවැත්වෙන පොසොන් උත්සවය නිමිති කර ගෙන ද පරිසර සතිය තුල බොහෝ පරිසර වැඩසටහන් සංවිධානය කෙරිණි.
 
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්  ඩී.පී.ජී කුමාරසිරි මහතා ප්‍රධාන කොට ගෙන අනුරාධපුර පරිපාලනයට සම්බන්ධ බොහෝ රාජ්‍ය ආයතන වල එකගතාව මත ගන්නා ලද පරිසර හිතකාමී ප්‍රධාන තීරණයක් ලෙස තිසා වැවේ දිය නෑම හා ‍රෙදි සේදිම ප්‍රතිපත්තිමය වශයෙන් තහනම් කිරිම කැපී පෙනේ. එය යුක්ති සහගත තීරණයක් වීමට බලපාන සුවිශේෂී සාධක පවතී. දිගු ලිඛිත ඉතිහාසයක් ඇති තිසා වැවේ ජලය එවක  සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේට පැන් පේ කිරිමට උපයෝගී කරගෙන ඇත. භක්තිවන්තකම නිසා රජවරුන් හෝ ඉන් ස්නානය කර නැත. ඒ සදහා ඔවුන් රන්මසු උයන ආශ්‍රිත ප්‍රදේශ සකසා ගෙන තිබේ.
 
වර්තමානයේ දී තිසා වැවෙන් ගන්නා අනෙක් සුවිශේෂීම ප්‍රයෝජනය වන්නේ නගරවාසී ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පරිභෝජනය සදහා ජලය ලබා ගැනිමයි. මෙම කරුණු සලකා බැලිමේදී තිසා වැව අපිරිසිදු කිරිම අනාගතයේ දී විශාල පීඩා ගෙන දීමට හේතු වේ. අසීමිතව ඉන් දිය නෑමත් තවත්,  මළ ද්‍රව්‍ය එකතු කිරීමත් යන සාධක නිසා තිසා වැවේ ජලය බොහෝ අපවිත්‍ර මට්ටමක පවතී. පෙර දවස “පුජා වැව,, ලෙස හැදින්වු තිසා වැවේ ජලය සිදුණු සමයට රෙදි, පොලිතින්, ප්ලාස්ටික් ඇතුඵ අපද්‍රව්‍ය විශාල වශයෙන් තැම්පත්ව තිබෙන බව දැකිය හැකියි. මෙය නොකඩවා සෑම වර්ෂයකම සිදුවන්නකි. මෙබදු තත්වයක් නිසා ජනතාවගේ අගනා සම්පතක් ජනතාවගේ අභිවෘද්ධිය පිණිසම ප්‍රධාන අවශ්‍යතාවට මුල්තැන් දී කළමණාකරණය කීරිම කාලින කටයුත්තකි . එම නිසා මෑත ගැන පමණක් නොසිතා අනාගතය ගැන සිතා  ගත් මානව හිතවාදී තීන්දුවක් ලෙස මෙය සැලකිය හැකියි.
 
විශේෂයන්ම එම තීන්දුව ගැනීමේ දී තිසා වැව සුරැකිමේ සංවිධානය මෙන්ම එහි මූල මණ්ඩලය වන මහා සංඝරත්නයේ කැප කිරීම උස් කොට ඇගයිය යුතු වේ. දිසුත්‍රික් ලේකම්වරයාට තිසා වැවේ දිය නෑම තහනම්ය යන තීන්දුව ගැනීමට මහා ශක්තියක් දුන් අය අතර ගෞරවනිය මහ සංඝරත්නයට මුල් තැන් හිමි වේ . අටමස්ථානාධිපති මහ නාහිමියන්, මේ පිළිබද දැක්වු ප්‍රසාදය ද මහ පවුරක් බදු ශක්තියකි.
 The Environmental Pollution 1 1
 
අනුරපුරයට පැමිණෙන බැතිමතුන්ට ස්නානය කිරිම සදහා විකල්ප ස්ථාන තැනීමට ද තීන්දු ගෙන ඒවාද ක්‍රියාවට නැන්විම කඩිනමි කළේය. විශේෂයෙන්ම පැරණි පොකුණු තුන ශුද්ධ පවිත්‍ර කර සුදානම් කිරිමද, බසවක්කුලම වැව ස්නානය සදහා අවශ්‍ය පරිදි සකස් කිරිම ඒ අතරින් කැපි පෙනේ. ඉදිරියේ දී ස්නානය සදහා වෙනම ස්ථාන සකස් කිරිමටද යෝජනා වී ඇත.
තවද පොසොන් සමයේ දී දන්සල් කාර්ය අතිශය දියුණු මට්ටමකින් අනුරාධපුරයත්, මිහින්තලයත්, තන්තිරිමලයත්  කේන්ද්‍ර කර ගනිමින් සිදු කරයි. ඒවායින් ඉවතලන දෑ විධිමත් පරිදි සිදුකිරීමට දැඩි උපදෙස් ලබා දි තිබේ.විශේෂ‍යෙන් දන්සල් සදහා දර ලිප් භාවිතය වෙනුවට ගෑස් භාවිතා කරන ලෙසද අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියේය. ඊට බොහෝ පිරිසක්ගේ අකමැත්තද ප්‍රකාශ විය. එහෙත් දන්සල් හිමියන් දන්සල පවත්වා අවසාන අපද්‍රව්‍ය එතනම දමා යති. දැල් වු ගිනිද එහිමය.විටක ඒ ගින්දරින් කවුරුත් නොදැන වනයට ගිනි ඇවිලිය හැකිය. මේවා උපකල්පන නොවේ.සිදුවිය හැකි දෑය.
අනෙක් අතින් පුජා නගරයේ අවට ගිනි දැල්වීම හරහා පුරාවිද්‍යා ස්ථාන වලට ද හානි පැමිණිය හැකියි. පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන වල ගිනි දැල්වීම පුරාවිද්‍යා පනතට අනුව තහනම් ක්‍රියාවකි. මෙම තීන්දුව එකවර ක්‍රියාවට නැන්වීය නොහැකි වුවත් කෙමෙන් ජන ආකල්ප සකස් කර ගැනීමට හැකිනම් එය රටටම වැදගත් පිවිසුමක් වේ. පවතින තත්වයන් එ‍ලෙසම පවත්වා ගැනීමට වඩා නිසි නියාමනයක් හරහා යමක හොද නරක හදුනාගෙන වැරදි ඉවත් කර ගැනිම කළ යුතුම කාර්යයකි . පටු වාසි හා පෞද්ගලික වාසි තකා,හොද ක්‍රියාමාර්ග ඉවතලීම යුක්ති සහගත නැත. පුරුද්දට යටවුණු , ඒ නිසාම සොයා නොබලා ගැඹුරු පරිසර ගැටළු වලින් වෙලී තිබෙන ශ්‍රි ලංකාව පාරිසරික අතින් නැන්විය යුතුය යන ඉගැන්වීම කිරිම සිඝ්‍රගාමි කළ යුතුය.
 
 
 
තිරසාර පරිසර- මාධ්‍ය මෙහෙවර
තිරසාර සංවර්ධනයට අවශ්‍ය මාවත හෙළි පෙහෙළි කරගැනිමේ දී ඒ සදහා මහජන සේවා මාධ්‍ය ක්‍රියාවලියෙන් විශාල පිටුවහලක් ලබා දිය යුතුය. මෙහීදි අවශ්‍ය වන්නේ ව්‍යාපාරික අධිපත්‍ය මත ක්‍රියාත්මක කරන මාධ්‍ය සංදර්ශන නොවේ. සංවර්ධනයට අවශ්‍ය පරිදි ජන විඥ්ඥානය පුළුල් කිරීම මුඛ්‍ය කරගත යුතුය. ආගම දහමටත් ඉහළින් ඇලුම් කරමින් ජනමාධ්‍ය අදහන යුගයක එම ඇල්ම භාවිතා කර ගුණ ගරුක ජන පිරිසක් බිහි කිරිමට ජන මාධ්‍යට හැකියාව තිබිය යුතුය. එහිදී සැබෑ සංවර්ධනය යනු කුමක්ද?පරිසරය හා සංවර්ධනයට ඇති සම්බන්ධය කුමක්ද?ආදි වශයෙන් පරිසර ක්‍ෂේත්‍ර පිළිබද තොරතුරු ඇතුලත් සංවිධනාත්මක සදේශ රටාවක් අනුගමනය කළ යුතුව තිබේ. දැනට පරිසරය පිළිබද සිදුකරන වැඩසටහන් තවත් වර්ධනය කළ යුතුවේ. ඒ සදහා සුසැදි ඉගෙනුම් මාධ්‍යක් බවට පත්ව ජනතාවට සමිප විමට ජනමාධ්‍ය වගබලා ගත යුතුය. එහෙයින් නිතරම ජනමාධ්‍ය  පරිසරය පිළිබද ගවේෂණාත්මක වර්තාකරන ක්‍රමවේදයකට පැමිණිය යුතුය.
 
විශේෂයෙන්ම තිසා වැවේ ස්නානය තහනම් කිරිම වැනි ක්‍රියාමාර්ගයකදී මාධ්‍ය ලත් පියවරයන් පැසසිය යුතුයි.එසේම සියලු මාධ්‍ය යහ පරිසරයක් නිර්මාණය කිරිමට අවශ්‍ය ගුරුහරුකම් සමාජයට දායාද කළ යුතුය.
 
දුර්මත  සුන් කර නැගිටිම
 
පරිසරය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එය කළ යුත්තේ වාචිකව හෝ ලිඛිතව පමණක් නොවේ. එය ප්‍රායෝගිකවද විය යුතුයි. එහිදි විවිධ මතවාද ද පැමිණිය හැකිය .එහෙත් සියලු දෙනා එකමුතුව එක් සිත්ව කටයුතු කරන්නේ නම් පැමිණෙන බාධා ඉවසා ඉවතලිය හැකිය. පරිසරය යන වචනයෙහි අර්ථය හෝ වටහා ගන්නට සැරසුමක් නැති බුද්ධි හීනයින් පරිසරයට කරන විනාශයෙන් ගලවා ගෙන ඉන් උන් ලබන පාපයෙන් මුදවාලිය යුතුයි.සමාජයේ ජනී ජනයා එයින් මුදවා ගැනිම පරිසරහිතවාදින්ගේ මුඛ්‍ය අරමුණ වේ. මෙවර පොසොන් දිනයේ තේමාව වන්නේ " දුසිරිත් - දුරලමු." යන්නයි. එම තේමාවට අනුකුලව අවධානය යොමු කළද පරිසරය සුරැකිම යනු දුසිරිතෙන් තොර විමයි. එම තේමාවේ අර්ථය සිතන්න.  එතනින් නිසි ක්‍රියාවට පිවිසෙන්න, ගුණ වඩා සමාජයට වැඩදායී පුරවැසියෙකු වන්න.එවිට ගහකොළ පිසගෙන හමන සිහිලැල් සුළගේ පහස නොලැබ කෘතිම වන මිනිසුන් වෙනුවට ස්වභාවිකත්වයන් අගයන ස්වභාවික මිනිසා නැවත ඉපදෙනු ඇත.
 
-ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර

Read 232 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!