Wednesday, 22 November 2017

නිල්වලා මිටියාවතේ ගංවතුර තර්ජනයට පිළියමක්වු ඌරුබොක්ක වේල්ල

Posted On Saturday, 31 December 2016 16:01

හිරු නැගෙන්නට පෙර ඇහැරී හිරු අස්තානගත වූ පසු නින්දට යන නිල්වලා මිටියාවතේ මිනිසුන්ගේ ජීවනාලිය වන්නේ නිල්වලා ගං කොමළියයි. විටෙක ශාන්ත සුන්දර වන නිල්වලා ගඟ විටෙක රෞද්‍ර සැඩපරුෂ වේ.


සෑම වර්ෂයක ම අඩු වැඩි වශයෙන් සක්‍රීය වන මෝසම් වැසිත් සමඟ ගඟ ද අඩු වැඩි වශයෙන් පිටාර ගැලීමට පටන් ගනී. වසර දහස් ගණනක ඈත අතීතයේ සිට ම තම ආර්ථික, සාමාජික, සංස්කෘතික යනාදී සියල්ල නිල්වලා ගඟ කේන්ද්‍රකර ගනිමින් ගොඩනගා ගත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ගංවතුර උවදුර ද අරුමයක් නොවේ.
 
කලින් කලට  පත්වන විවිධ ආණ්ඩු මගින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද එම එක ද යෝජනාවක් හෝ යථාර්ථයක් බවට පත් වී නිල්වලා මිටියාවතේ ගංවතුර තර්ජනයට නිසි පිළියමක් යොදා නැත. එහෙත් නිල්වලා මිටියාවතේ ගංවතුර තර්ජනය අවම කිරීමේ පියවරක් වශයෙන් වේල්ලක් ඉදිකිරීමට මීට වසර 239 ට පෙර එවකට මාතර පාලනය ගෙනගිය ලන්දේසීන් කටයුතු කර තිබේ.
 
මාතර පාලනය සියතට ගත් ලන්දේසි ජාතිකයින්ට නිල්වලා ගඟේ ඉහළ නිම්නයේ එක් රැස් වන ජලය පහළ නිම්නයේ භවභෝග විනාශ කිරීමට හේතුවන බව පෙනී ගියේ ය. එය ඔවුන්ගේ ආදායමට ද යම් බලපෑමක් සිදු කළ හෙයින් ඒ සඳහා ඔවුහු අපූරු පිළියමක් යෙදීමට උත්සුක වූහ. gl2
 
එකල ශ්‍රී ලංකාවේ සේවය කළ ලන්දේසි ජාතික ඉංජිනේරු වරයෙකු වූ පීටර් පර්නැන්ඩර් මහතා ප්‍රමුඛ කණ්ඩායමට එම කටයුත්ත පැවරිණි. ඒ අනුව වර්ෂ 1787 දී නිල්වලා ගඟේ එක් කොටසක් ඌරුබොක්ක හොරගස්මණ්ඩිය ප්‍රදේශයේ දී හරස් කොට වේල්ලක් ඉදි කරන ලදි. ඒ අනෙකක් නොව ඌරුබොක්ක වේල්ලයි.
 
වේල්ල ඉදිකිරීමෙන් නොනැවතුනු පර්නැන්ඩර් මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවට ජලය ගෙනයාම සඳහා කිලෝමීටර් 03 ට වඩා දිග ඇළක් ද නිර්මාණය කළේ ය. එම ඇළ ඌරුබොක්ක ඇළ හෙවත් ඌරුබොකු ඔය වශයෙන් හඳුන්වයි.
 
ඌරුබොක්ක ඇළ මගින් එකල (18 සියවස) කුඹුරු අක්කර 10,000 ට ආසන්න ප්‍රමාණයකට ජලය සැපයීමට ද හැකියාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමුණු 3,000 ට ආසන්න අමතර වී අස්වැන්නක් නෙළා ගැනීමට ද හැකි විය. එවකට අමතර වී අමුණු 2,995 ක් සඳහා ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට බද්දක් ගෙවීමට ද සිදු වී ඇත.
 
ඉංග්‍රීසීන් මාතර පාලනය කළ සමයේ එනම් 1837 දී ඇති වූ මහා ගංවතුර හේතුවෙන් ජන ජීවිතය සේම ඌරුබොක්ක වේල්ල ද කැඩී බිඳී ගියේ ය. කලක් අමතක කොට අතහැර දමා ජරාජීර්ණ වී තිබූ වේල්ල ඉංග්‍රීසි පාලකයන් විසින් නැවත ප්‍රතිසංස්කරණය කරන ලදි. දැනට ශේෂව පවතින්නේ එම ප්‍රතිසංස්කරණය කරන ලද වේල්ලයි. පසුකාලීනව විවිධ මාර්ග සංවර්ධන කටයුතු වලදී ද යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකර තිබේ.
 
කොටපොල නගරයේ සිට ඌරුබොක්ක නගරය දක්වා ගමන් කරන විට හොරගස්මණ්ඩිය ප්‍රදේශයේ දී මෙම ඌරුබොකු වේල්ල දැකගත හැකි ය.
 
ගංවතුර තර්ජනයට මුහුණ දෙන රටක් වශයෙන් මහා පරිමාණ යෝජනා ක්‍රම හරහා විසඳුම් සොයා ගැනීමට කල් ගතවන බොහෝ ගැටළු වලට මෙවැනි සුළු පරිමාණ යෝජනා ක්‍රම මගින් යම් අස්වැසිල්ලක් හා ඵල ප්‍රයෝජනයක් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බවට ඌරුබොක්ක වේල්ල සාක්ෂි දරයි.
 
සටහන හා ඡායාරූප -
තුෂාර ඉන්දික විජේසිරි

Read 222 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!