Friday, 26 April 2024

පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්

Posted On Thursday, 11 June 2020 15:47

පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය රජය යටතේ පවතින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

තවද ලබන වස⁣රේදී පාසල් දරුවන්ට සහ පිරිවෙන් ස්වාමින් වහන්සේලාට ලබා දෙන නිළ ඇදුම් වව්චර්පත් වෙනුවට මෙරටදීම නිෂ්පාදනය කළ රෙදිපිළි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ⁣පේෂකර්ම නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව පාසල් සිසුන් සදහා විදේශීය රෙදිපිළි ගෙන්වනවා වෙනුවට මෙරටදීම රෙදිපිළි නිපදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වසර පුරා විවිධ විභාග වර්ග 350ක පමණ ප්‍රශ්න පත්‍ර සැකසීම ,ප්‍රතිපල සැකසීම, අධීක්ෂණය වැනි කටයුතු රාශියක් , සිදු කරන ඉතා විශාල වගකීෙමන් කටයුතු කරන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට මහල් නිවාස මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.