Tuesday, 19 March 2024
අලුත් පොත්
අලුත් පොත්

අලුත් පොත් (3)

මැලෝරි පන්ති කාමරයක ගඩොල් බිත්තියට තදින් හේත්තු වී සිටී. දොර අගුළු දමා ඇත. ඇය සිටින්නේ තනිවමය. විදුලි පහන් නිවා දමා තිබේ. ඇගේ දෑස් රෙදි පටියකින් බැද ඇත.

පිටත ශාලාවේ අර ප්‍රචණ්ඩත්වය ඇරඹී ඇත.

ඇය ඒ හඬ හොඳින් හඳුනයි. එය ඇගේ බිහිසුණුම සිහින තුළින් ඇයට ඇසී තිබේ. බිඳී වැටුණු නිවහනේ දෝංකාරයන් තුළින් ඇයට එය ඇසී ඇත. ඇගේ පුතු මෙලොවට බිහිවෙන මොහොතේ ඒ නිවසේ උන් හොඳ සිහිය ඇති මිනිසුන් එකිනෙකාගේ සිරුරුවලට පැන ඉරා ගන්නා විට ඒ හඬින් නිවස පිරී ගිය අයුරු ඇයට ඇසී ඇත.

මේ මොහොතේ ටොම් සිටින්නේ ඒ භීෂණය ඇති තැනය. ඒ කොතනදැයි මැලෝරි හරියටම දන්නේ නැත.

ඇය හුස්මක් ඉහළට ගත්තාය. ඒ හුස්ම මද වෙලාවක් රදවා ගත්තාය. ඉන්පසු ඒ හුස්ම පිට කළාය.

ඇය දොරට ළං වූයේ එහි අගුළු හරින්නටය. එය විවර කරන්නටය. ඒ කෑ ගැසීම්, හිස්ටීරියාවල උමතුව මැදට වැදී ඇගේ දියණියවත් පුතාවත් සොයා ගන්නටය. දොරෙන් එහා පැත්තේ මොකක්දෝ පුපුරා බිඳී යන හඬ ඇසිණ. ඒ හඬ හරියට කවුරුන් හෝ ඔවුන්ගේ හිස් බිත්තියේ ගසා ගන්නා හඬ වැනිය.

ඇය වහා දොර අගුළෙන් අත ඉවතට ගත්තාය.

ඇය අන්තිමට දකින විට ඇගේ සය හැවිරිදි දියණිය, ඔලිම්පියා, ටකර් පුස්තකාලයේ බ්‍රේල් පොතක් කියවමින් සිටියාය. විද්‍යාලයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් නික්මෙන පැරණි සම්භාවනීය සංගීතයට සවන් දෙමින් තවත් දහ දොළොස් දෙනෙක්ම එහි උන්හ.

මැලෝරි ඒ මිනිසුන්ගේ කටහඩවල්වලට ඇහුම්කන් දෙන්නට පටන් ගත්තාය. ඇයට දැන් වුවමනා මේ ප්‍රචණ්ඩත්වය පුස්තකාලයටද ළඟා වී ඇතිදැයි දැන ගන්නටය. ඇගේ දියණිය වෙතටද ළං වී ඇතිදැයි සැක හැර දැනගන්නටය. එසේ වී ඇත්නම් ඇය මුලින්ම සොයා යා යුත්තේ ටොම්වය.

ඉතින් ඇය ඇහුම්කන් දුන්නාය.

#Malorie - The Sequel To the Global Sensation (BirdBox-2)
#joshmalerman
#මැලෝරි (බර්ඩ්BOX -2)
පරිවර්තනය -
Nimmi Muditha Herath 

Posted On Wednesday, 04 November 2020 07:23 Written by

 චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඞ්-19 ප‍්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප‍්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද ‘‘Prevention and Control of COVID 19’’ කෘතිය, සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එය ලක්ෂමන සපරමාදු මහතා ගේ පරිවර්තනයකි.මෙය චීන  කාර්යාලය හා පාත්ෆයින්ඩර් පදනම ඒකාබද්ධව පලකල කෘතියක් වන අතර 
නිවස, එළිමහන, රාජකාරී ස්ථානය යනා දී වශයෙන් විවිධ තැන් වල දී රෝගය වලක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක‍්‍රම විස්තරාත්මකව, හා නිතර විමසන ප‍්‍රශ්න හා උත්තරානුසාරයෙන් මිත්‍යා සහ සැක සහිත තැන් අනාවරණය කර, පොදුවේ අවබෝධ කරගත හැකි පරිදි මෙම කෘතිය සකස් කර තිබේ. මෙය කියවන්නන් ගේ කුතුහලය සංසිදුවන අතර, දැනුම සම්පාදනය කර, කොවිඞ් -19 වසංගතයෙන් ගැලවෙන මග විද්‍යාත්මකව සහ ඉලක්කගතව තොරතුරු සම්පාදනය කර ඇත. ෂැංහයි කොවිඞ් -19 ප‍්‍රවීණ ප‍්‍රතිකාරක කණ්ඩායමෙහි ප‍්‍රධානියා වන මහාචාර්ය ජන්ග්, ෆුඩාන් විශ්ව විද්‍යාලයේ බෝ වන රෝග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන අතර චීන වෛද්‍ය සම්මානය මෙන්ම, ෂැංහයි විද්‍යා සහ තාක්ෂණ ප‍්‍රගති සම්මානය ලබා ඇති හෙතෙම 2003 වසරේ දී සාර්ස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමෙහි ද, රෝගය වළක්වාලීම් හා පාලන කි‍්‍රයාවලියෙහි ද නිරත වූයේ ය.

Posted On Tuesday, 15 September 2020 06:53 Written by

ඔහුව දකින්නට මා මේ අයුරින් සැරසිය යුත්තේ ඇයි.? මෙය ඔහු විසින් ගෞරවනීය අමුත්තෙකුට කරන සත්කාරයක්ද.? එහෙමත් නැතිනම් මාව මරා දමා, මගේ අළු කින්ජාල් ගංගාවේ පා කර යවන්නට පෙර කරන ශරීර පිරිසිදු කිරීමේ චාරිත්‍රයක්ද.?
“රාජකුමාරි.?”
මගේ දෑසේ බැල්ම අමෝලි දෙසට හැරවිණ. ඇය නැවුම් ඇදුම් ටික මා වෙත දිගු කරගෙන, එකිනෙකට යා වුණු දෙබැමින් යුතුව මා දෙස බලාගෙන සිටින්නීය. ඇගේ මුහුණේ පෙනුම මට පවසන්නේ මේ ඇය මට කතා කළ පළවෙනි වතාව නොවන බවය.
“ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද.?” ඇය ඇසුවාය.
මම ඇයට සිනාවකින් සංග්‍රහ කළෙමි.
“අපොයි නෑ..” සාරිය බද වටා ඔතාගෙන, එහි වැඩ දැමූ පල්ලුව උරහිස උඩින් දමමින් මම කීවෙමි. “මං වෙන කල්පනාවක හිටියෙ..”
“ඔයාට විවේකයක් ඕනද.?” ඇය ඇසුවාය. “මට පුළුවන් මේ වැඩේ ඉවර කරන්න පස්සෙ එන්න..”
හිස සිට දෙපතුළ දක්වාම මා සූදානම් වී හමාරය. තවත් කරන්නට ඉතිරිව තියෙන්නේ මොනවාද.?
“නෑ.” මම කීවෙමි. “ඇත්තටම මම හොදින්.”
එක් මොහොතක් ඇය කතා නැතිව මගේ මුහුණ දෙස බලා උන්නාය. ඉන්පසුව ඇය අර මිටි කනප්පුව දෙසට හිස වැනුවාය.
“එහෙනම් අපි ඔයාගෙ අත් දෙක සරසන්න පටන් ගමු..”
“මගේ අත්..?”
අමෝලි ඇගේ කූඩයෙන් හීන් කූපිිකාවක් පිටතට ගත්තාය.
“ඔව්.” ඇය කීවාය. “මං මෙහෙන්දි ගාන්නම්..”
මට ඉහළට ගත් හුස්ම පහතට දමන්නට බැරි විය. හෙනා මෝස්තර යෙදීම කරන්නේ විශේෂ අවස්ථාවන් වලදී පමණකි. ඒ එක්කෝ විවාහ මංගල්‍යයකදීය. නැතිනම් අවමගුලකදීය.
“එයා මාව මරන්නද යන්නෙ.?”
අමෝලි මුහුණ හකුලා ගත්තාය. ඇයට පිළිතුරු දෙන්නට සෑහෙන වෙලාවක් ගත විය.
“මං දන්නෙ නෑ.” ඇය කීවාය. “එහෙම නොවුණොත් හොදයි කියලා මට හිතෙනව..”
------------------------------------------

අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම "මිනී මැරුවේ" එකටය.
අයිලා මගේ ඔත්තුකාරියයි. මම ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව වීමි.
කුඩා කල පටන් කළත්, ඒ "මිනීමැරීම" කුඩාවුන්ගේ සෙල්ලමක් නොවීය. එය අපට පැවරුණු රාජකාරියයි.
ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාට උවමනා විය.
එහෙත් අපට ලේසියෙන් පලා යා නොහැකිය.
එයට හේතුව මා "තවත් එක් විෂ කන්‍යාවක්" නොවීමය.
එසේ නම් මා කවුද.?
නාග වංශයේ එකම එක "රාජකුමාරි" යද.?
රාජධානියක් තරමටම වටිනා සිරකාරියක්ද.?
නැතිනම් සතුරු වංශයක අතුරුදන් වූ කුමරියක්ද.?
---රාජකුමාරී----

විෂ කන්‍යා 02 කොටස
රාජකුමාරිි
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්

Posted On Tuesday, 15 September 2020 06:46 Written by