Saturday, 18 May 2024
Ravi Jayawickrama Arachchige

Ravi Jayawickrama Arachchige

Friday, 08 July 2022 09:57

තෙල් සොයා යෑම


ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් පැන නගින ගැටලු‍ නිරාකරණය කරගැනීම සඳහා එකී වරද සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට මෙසේ අනුමැතිය හිමි වූ බවද වාර්තා විය.

කිසියම් නීතියක් නිවැරදිව නිර්වචනය වී නොමැති අවස්ථාවක අදාළ නීතියට සම්බන්ධ නඩු කටයුතුවලදී වගඋත්තරකරුවකුට හෝ විත්තිකරුවකුට හෝ නීතියේ සාධාරණත්වය හිමිවීම දැඩි සැකයකට භාජන වීම ස්වභාවිකය. ලැබෙන දඬුවම කුමක් වුවද එය භාරගෙන එයට යටත්වීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට ඉතිරිවන්නේ නැත. එවැනි නඩු විභාග කිරීමේදී සහ තීන්දු ලබාදීමේදී පැහැදිලි හා ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය නොකරන බැවින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමේ සීමාව සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාව කෙතෙක්ද යන්න තේරුම්ගැනීම අපහසු වී ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙන බවද සඳහන්ය. ඒ සමඟ අමාත්‍යවරයා සිය යෝජනාවේ තවදුරටත් සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධයෙන් මෑත කාලීනව දැඩි විවේචනයට ලක්වූ නඩු පිළිබඳ සලකා බැලීමේදී එම නීතිය නැවත සලකා බැලීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවය.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය 19 වැනි සියවස තරම් ඉතා ඈත අතීතයේ සිට ක්‍රියාත්මක වන්නකි. එම නීතිය හඳුන්වාදීමේ මූලික පරමාර්ථයක් වී තිබුණේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයටත් එය ඉටුකරන අධිකරණ පද්ධතියටත් සිදුවිය හැකි බලපෑම් සහ මැදිහත්වීම් වැළැක්වීමය. විනිශ්චයකාරවරුන්ට හිමිකර දී තිබෙන ආධිපත්‍යයට මෙන්ම අධිකරණයේ මහානුභාවසම්පන්නභාවයටද හානි පැමිණෙන සේ කටයුතු කිරීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එරෙහි වන කාරණා වශයෙන් සැලකෙයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් ලබාදීම සිදුකෙරෙන්නේ 105 (3) වගන්තිය ප්‍රකාරවය. එහි සඳහන් නිර්වචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ම ක්‍රියාත්මක කෙරෙන ආකාරය විෂය මූලික වශයෙන් සහ පුළුල් ලෙස විග්‍රහ කර තිබේ. අධිකරණය තුළදී හෝ ඉන් පිටතදී හෝ සිදුකෙරෙන අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් දීමේ සම්පූර්ණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට එමගින් පවරා දී තිබේ. අධිකරණය මැනවැයි සිතන ආකාරයට ලබාදෙන දඬුවම සිරදඬුවම හෝ දඩගැසීම හෝ යන දෙයාකාරයට සිදුකළ හැකිය.

කෙසේ වුවද බොහොමයක් රටවල අධිකරණයට අපහාස කිරීමේ විධිවිධාන ඒ ආකාරයටම ක්‍රියාත්මක වන්නේ නැත. එම නීතිය අක්‍රීය කර හෝ අකර්මණ්‍ය කර ඇති බවක් හෝ එයින් අදහස් නොකරමු. එහෙත් මෑතකාලීන ඉතිහාසයේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එකී වැරැද්ද යටතේ ලබාදී ඇති දඬුවම් අධ්‍යයනය කිරීමෙන් ඒ ගැන යම් අදහසක් ගත හැකිය. ඊට හොඳම උදාහරණය ප්‍රමුඛ පෙළේ ඉන්දීය නීතිවේදියකු වූ ප්‍රශාන්ත් භූෂාන්ට එරෙහිව 2020 වසරේ අගෝස්තු 31 වැනිදා ලබාදුන් නඩු තීන්දුවය. භූෂාන් විසින් යවන ලද ට්විටර් පණිවුඩ දෙකකින් ඉන්දීය අධිකරණයට අපහාසයක් සිදුවූ බව ප්‍රකාශ කරමින් ඔහුට සංකේතාත්මක වශයෙන් ඉන්දීය රුපියල් 01ක් ගෙවන ලෙසට අධිකණයෙන් දඩ නියම කරනු ලැබීය. එම රුපියල සති දෙකක් තුළදී නොගෙව්වොත් ඔහුට මාස 03ක සිරදඬුවමක්ද නියම විය.

අධිකරණයට ගෞරව කරමින් තමන් එම රුපියලක දඩය ගෙවන බව ප්‍රකාශ කළ නීතිවේදී භූෂාන් එහෙත් තමන් යවන ලද ට්විටර් පණිවුඩ දෙක භාෂණයේ නිදහස ක්‍රියාවට නැංවීමක් බව ප්‍රකාශ කළේ තමන් දිගටම එම ට්විටර් පණිවුඩ දෙකේ අදහස් වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කරමිනි. මෙම නඩුව අධිකරණයේ විභාග වීමට පෙර භූෂාන්ගේ භාෂණයේ නිදහස වෙනුවෙන් එරට විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තුන්දහසකට අධික පිරිසක් සමඟ තවත් විද්වත්හු දහස් ගණනක් පෙනී සිටියහ. එම පීඩනය කෙතරම් වී දැයි කිවහොත් භූෂාන්ට එරෙහි රුපියලේ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගෝස්තු 31 දක්වා කල් දමන ලද බවද මෙහිදී සඳහන් කළ යුතුය.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය තුළ නිවැරදිව නිර්වචනය වීම කොයිතරම් වැදගත්ද යන්න ඉහත සඳහන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි වෙයි. විශේෂයෙන්ම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අධිකරණයට අපහාසාත්මක විය හැකි සීමාවන් පිළිබඳව පාර්ලිමේන්තු පනතකින් පැහැදිලි කිරීම ඉතා වැදගත්ය. එසේ නොවන විට විවිධ ආණ්ඩුවල පටු දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු පැවරීම පවා කළ හැක. එවැනි හිඩැස්වලට ඉඩක් තැබිය යුතු නැත.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය වර්තමානයට ගැළපෙන සේ නිර්වචනය කිරීමෙන් එවැනි හිඩැස් වැසිය හැක. මෙය කාලීන අවශ්‍යතාවක් සේ දකින බවද සඳහන් කරමු. රටට බලපාන වැදගත් නඩු තීන්දු පවා හේතුසහගතව විවේචනය කිරීමේ නිදහස පමණක් නොව විනිශ්චයකාරවරයකුගේ නොහොබිනා පෞද්ගලික පැවැත්ම සම්බන්ධයෙන් වුවද විවේචනය කිරීමට ඇති නිදහස අධිකරණ අපහාස නීතියට යටත් නොවන තරම් උසස් ප්‍රජාතන්ත්‍රවාදී මට්ටමක නීති හඳුන්වා දී තිබෙන රටවල් තිබෙන බවද 1971 ඉන්දියාවද 1981දී මහා බ්‍රිතාන්‍යයද එවැනි නීති හඳුන්වාදී ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

ජනතාව විඳින පීඩාව වචන බවට පෙරැළිය නොහැකි තරමට භාෂාව ද අසරණ වී තිබේ. අර්බුද වගුරෙන් ගොඩ ආ හැකි මගක් කිසිවෙක් හෝ නොකියති. ‘‘ඉදිරි සති දෙක අමාරුයි’’ කියා වගකිවයුත්තන් කියනවිට ජනතාව කියන්නේ ඊට පස්සෙත් අමාරුයි ‘‘තමයි’’ කියාය. රටේ යථාර්ථය එයම විනා අන් යමක් නොවේ.

බලාපොරොත්තු විරහිතව අපේක්ෂාභංගත්වයෙන් සිටින ජනයා වෙත ශුභාරංචියක් ලැබිණි. එම ශුභාරංචිය රැගෙන ආවේ මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතාය. ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට සහල් අලෙවි කරන’’ බවය.

රුපියල් 70ට 80ට තිබූ නාඩු හාල් කිලෝව රුපියල් 220 දක්වා ඉහළ යාම සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන්ට චෝදනා එල්ල විය. රජය පසෙක තිබිය දී මාධ්‍ය හමු කැඳවා හාල් මිල ප්‍රකාශයට පත් කළේ ද ඩඩ්ලි සිරිසේන මහතාය. හැම පැත්තෙන්ම චෝදනා එල්ල වූයේ රජයට පාලනය කළ නොහැකි වී මාෆියාවක් මෙන්ම සහල් මාෆියාවක්ද තිබෙන බවය. එම මාෆියාවේ ‘‘ගෝඩ් ෆාදර්’’ ලෙස හැඳින් වූයේ ද ඩඩ්ලි සිරිසේන මහතාවය.

රජය වීවලට පාලන මිලක් නියම කළ විට ඊට වඩා වැඩි මුදලක් ගෙවා මෙම මාෆියාකරුවන් ගොවියන්ගෙන් වී මිලදී ගන්නා බවත් එම වී තොග ගබඩා කර තබා රට තුළ හාල් හිඟයක් ඇති වූ විට වී හාල් කර වැඩි මිලට වෙළඳ පොළට නිකුත් කෙරෙන බවත් රහසක් නොවේ. පාරිභෝගික සේවා අධිකාරිය මෙම මහා පරිමාණ හාල් මෝල් වැටලූ අවස්ථාද විය. ඩඩ්ලි සිරිසේන මහතා ද මෙම චෝදනා ප්‍රතික්ෂේප නොකරයි. ‘‘අපි අවුරුදු 40ක් ජනතාවගෙන් ලාභ ගත්තා. දැන් ජනතාව ඉන්නේ අමාරුවෙන්. ඒ නිසා ඒ  ජනතාවට සහනයක් දිය යුතුයි. පාලන මිලට හාල් දෙන්න මම තීරණය කළේ ඒ නිසයි.’’ මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් වෙළෙන්ඳන් බලාගෙන සිටින්නේ පොදු මහජනතාව සූරාගෙන කෑමටය. පෙට්ටි කඩයේ සිට මහා පරිමාණ සුපිරි වෙළඳ සැල් දක්වා ද ගෑස් කඩයේ සිට ඉන්ධන පිරවුම්හල දක්වා ද මෙම සූරාකෑම ව්‍යාප්ත වී තිබේ. ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින ජනතාව මෙම සූරාකෑම නිසා තව තවත් අන්ත අසරණ තත්ත්වයට පත් වෙති. එහෙත් එම ජනයාට පිහිටට පිළිසරණට ඒමට කිසිවකුත් නැත. පාලන මිලටම සහල් දීමට ඩඩ්ලි සිරිසේන මහතා තීන්දු කිරීම ශුභාරංචියක් වන්නේද එම පරිසරය තුළය.

පාලන මිලට සහල් නිකුත් කරන බව දැනුම්දීමට කැඳවූ මාධ්‍ය හමුවට එක්ව සිටි තවත් සහල් ව්‍යාපාරිකයකු කියා සිටියේ ‘‘පාලන මිලට සහල් නිකුත් කිරීමේ තීරණයට තමන් එකඟ නොවන’’ බවය. එමෙන්ම ‘‘සහල්වල පාලන මිල තවත් රුපියල් 25කින් ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවය.’ රජයේ පාලන මිලට ගරු කළ ද නාඩු කිලෝව රුපියල් 249 දක්වා වැඩි කිරීමට රජයෙන් ඉල්ලීමක් කළා. එය ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එසේ වැඩි කළහොත් කඩ හිමියාට රුපියල් 2ක් දීම ප්‍රමාණවත් නොවීම නිසා කඩ හිමියාට රුපියල් 5ක් ලැබෙනවා යනුවෙන් එම ව්‍යාපාරිකයා පැවසීය.

සැබැවින්ම සිදුවිය යුත්තේ ගොවියාත් ව්‍යාපාරිකයාත් කඩ හිමියාත් ආරක්ෂා කෙරෙන හා පොදු ජනයාට සාධාරණය ඉටුවන ක්‍රමවේදයකි. එබන්දක් සකස් කර ගත නොහැකිනම් මහා වාගාඩම්බරයෙන් පවසන අප අත්කරගෙන ඇතැයි පවසන දියුණුව කුමක්ද යන්න ප්‍රශ්න කිරීම යුක්ති සහගතය. කෙසේ වෙතත් ඉබාගාතේ යන පාලනයක් සහිත රටකට එබඳු ක්‍රම​වේදයක් සකස් කර ගැනීම කළ නොහැකිවීම ද පිළිගත යුත්තකි. මේ සියල්ලෙන්ම පීඩාවට පත්ව සිටින්නේ රටේ පොදු මහජනතාවය.

ජනයා මේ මොහොතේ තොග පිටින් සහන අපේක්ෂා කරති. එහෙත් අපේක්ෂා කළ ද ඒවා ලැබෙන්නේ නැත. අද දවස සම්බන්ධයෙන් මෙන්ම හෙට දවස සම්බන්ධයෙන්ද හිස් හැඟීමක් ජනිත වී තිබෙන්නේද එහෙයිනි. එබඳු ශාපලත් පරිසරයක රජයේ පාලන මිලටම හාල් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඩඩ්ලි සිරිසේන මහතා ක්‍රියා කිරීම පැසසුම් කටයුතුය. එමෙන්ම තමන් මෙන්ම පාලන මිලටම  සහල් වෙළඳ පොළට නිකුත් කරන ලෙස අනෙකුත් සහල් ව්‍යාපාරිකයන්ගෙන් ද ඔහු ඉල්ලා සිටියේය. ඉන් නොනැවතුණු ඔහු සියලු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ ජනතාවට සහන සලසන ලෙසය.

ලාභ නොලබා ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිය. එහෙත් රට අතිශයින්ම දුෂ්කර ඉරණමකට යටත්ව සිටින මොහොතක අධික ලාබ ගැන නොසිතා ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට ව්‍යාපාරික ප්‍රජාව මැදිහත් වන්නේනම් එය ජනතාවට සහනයක් වනු නියතය.

Friday, 24 June 2022 10:27

ලංකා?

Friday, 24 June 2022 10:26

එදා සහ අද

Friday, 24 June 2022 10:25

නැවට පාර කීම

Page 14 of 62