Thursday, 28 March 2024

සන්නස ක්‍රීඩා

“ලංකා ප්‍රිමියර් ලීග්“ පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.‍

ඒ, තරඟාවලිය සඳහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් බව ඔහු සඳහන් කරයි.

LPL තරඟාවලියට සහභාගීවීමට සිටි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් - 19 ආසාදනයවීම මෙන්ම තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරඟාවලියෙන් ඉවත්වීමද සිදුව තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තරඟාවලියෙන් ඉවත්වීමට තීරණයකර ඇති අතර මාලිංග කියා සිටියේ මේ වසරේ පැවැති කොදෙව් තරඟාවලියෙන් පසු ක්‍රීඩාවට යොමුවීමට අවස්ථාවක් නොලැබුණු බවත්, ඉන් පසුව කිසිදු පුහුණුවීමක නිරතවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවත්ය.

ඉහළ මට්ටමේ තරඟාවලියක් සඳහා පුහුණුවක් නොමැතිව සහභාගීවීම පන්දු යවන්නෙකුට පහසු දෙයක් නොවන බව සිය ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේය.

මේ අතර තරඟාවලිය සඳහා සහභාගීවීමට පැමිණි කැනඩාවේ රවීන්දර්පාල් සිංට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු සහ සෙසු ක්‍රීඩකයන් මෙරටට පැමිණි අවස්ථාවේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඒ බව තහවුරු වී තිබේ.

කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි රවීන්දර්පාල් සිං සමඟ අන්ඬ්‍රේ රසල්ද එම ගුවන් යානයේ පැමිණි ඇති බැවින් රසල් නිරෝධායනට ලක්කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ අතර තරඟාවලියට සහභාගීවීම සඳහා දකුණු අප්‍රිකාව, පාකිස්තානය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථාන යන රටවල්හි ක්‍රීඩකයන් 8 දෙනෙකු ඊයේ රාත්‍රීයේදී දිවයිනට පැමිණ ඇති අතර PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු නිරෝධානය සඳහා යොමු කෙරුණි.

ඒ අනුව, තරඟාවලියට සහභාගී වන විදේශීය ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩල සහ තරඟාවලිය සංවිධායකයින් මේ වන විට තරඟ පැවැත්වෙන හම්බන්තොටට පැමිණ සිටී.

මේ අතර ලංකා ප්‍රියමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල තේමා ගීතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදැක්වුණි.