සමතුලිතාව සහ සහජීවනය සොබා දහමේ ඇති අපූරු සංසිද්ධියකි. ගොවිතැන යනු මෙම පාරිසරික නියතීන් අපූරුවට ගළපා ගනිමින් සිදු කළ යුතු කර්මාන්තයකි. ගොවිතැන් කටයුතුවලදී ගොවින් මුහුණ දෙන විවිධ පළිබෝධ හානි ජය ගැනීමට සොබා දහමෙන්ම ලබා දී තිබෙන අසිරිමත් ප්‍රතිකාර සොබාදහමේ තුලිතතාව පෙන්වන හොඳම සාධකයි. ගොවිතැන ජය ගැනීමට රසායනික තෙල් පොහොරම වුවමනා යැයි පවතින මතය පුස්සක් බවට පත් කරන මේ ප්‍රතිකාරවල ශක්තිය බොහෝ දෙනෙක් නොදනිති. කෘමිනාශක වෙනුවට සොබා දමේ අපූරු නිපැයුම් වන ගහකොළ පැළෑටිවල පස් පංගුවෙන් සකසා ගන්නා ප්රතිකාරවලින් මෙම පළිබෝධ හානි මැඬීමට ඇති හැකියාව ඔබටත් අත්හදා බැලිය හැකියි.
පළිබෝධ හානි මැඬලීම සඳහා ශාක සාරයෙන් සකසා ගත හැකි පළිබෝධ නාශක පරිසරයට හිතකර මෙන්ම ගොවියාට මුදල් ද ඉතිරි කර ගත හැකිය. එමෙන්ම අස්වැන්න ආහාරයට ගැනීමෙන් නිදන්ගත රෝගා බාධ ව්‍යාප්තිය අවම කිරිමට සාර්ථක පිළියමක් ද වෙයි. සෞභාග්‍යයේ දැක්ම රජයේ ජාතික වැඩසටහනට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති ගොවි ප්රජාව කාබනික කෘෂිකර්මාන්තයට නැඹුරු කිරිමේ එක් උත්සාහයක ප්රතිඵලයක් ලෙස ඇහැටුවැව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි හේමන්ත වන්නිනායක මහතාගේ සංවිධානයෙන් ආණමඩුව කොටවෙහෙර විදාතා සම්පත් නිලධාරි එන්.පී.පී සුනෙත් මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති වැඩමුළුවකින් ගොවි ප්‍රජවට දුන් මේ දැනුම ඔබටත් ඔබේ ගෙවත්තට වගා බිමට රැගෙන යන්න පුළුවන්.
පණු හානියට
කොහොඹ කොළ හා කරඳ කොළ අමු ගොම දියර සමඟ මිශ්‍ර කර දින 14ක් පල් කර තබා ඉසින්න.
කෘමි හානියට
• සුදු ලූනු ග්රෑම් 100ක් සහ සබන් ග්රෑම් 10ක් සිහින්ව අඹරා ජලය ලීටර් ½ක ට මිශ්‍ර කර පැය 24ක් තබා එම මිශ්‍රණයට ජලය ලීටර් ½ක් නැවත එකතු කර වගාවට ඉසීම යෝග්‍යයයි.
• සුදු ලූනු ග්රෑම් 50ක් සිහින්ව අඹරා වතුර ලීටර් 1කට මිශ්‍ර කර ඉසින්න
කුඩිත්තන්ට සහ කොළ හකුළන දළඹුවන්ට
සුදු ලූනු ග්රෑම් 100ක් අඹරා භූමිතෙල් තේ හැදි දෙකකට කලවම් කර ජලය ලීටර් 1ක් හා සබන් ග්රෑම් 50කට මිශ්‍ර කර පැය 24ක් තබා පෙරන්න. ඉන් පසු හතර ගුණයක් තනුක කර ඕනෑම වගාවකට ඉසිය හැකිය.
කූඹීන්, වේයන් සහ නයි කූඹීන්ට
අනෝදා ඇට පතක් කොටා අඹරා ජලය ලීටර් 1කට දිය කර පෙරා ගත් දියරය ඉසින්න.
කුඩිත්තන්, පැළ කීඩෑවන්, සුදු මැස්සන්ට
වතුර ලීටර් 2කට අනෝදා කොළ ග්රෑම් 500ක් එක් කර ළිපක තබා රත් කරන්න. ඉන් පසු ජලය ලිටර් ½ක් දක්වා හිඳෙන්න හරින්න. පසුව පෙරා එයට ජලය ලීටර් 2ක් දමා මිශ්‍ර කර වගාවට ඉසින්න.
ඉල් මැස්සන්, කොළ කන දළඹුවන් සහ ගෙඩි විඳින පණුවන්ට -
තෝර මුල් ග්රෑම් 50ක් ගෙන සබන් ග්රෑම් 10ක් සමඟ කොටා ගෙන එයට ජලය ලීටර් 1ක් දමා හොඳින් දිය කර ගන්න. ඉන් පසු හානි කර ඇති පත්‍රවල උඩ සහ යටට හොඳින් ඉසින්න.
ඉල් මැස්සාට තවත් ප්‍රතිකාරයක්
• කලවැල් යුෂ ඉතා ස්වල්ප ප‍්‍රමාණයක් පැණි හෝ සීනි ද්‍රාවණයකට මිශ්‍ර කර එයින් රෙදි කැබලි පොඟවා පන්දලමේ තැනින් තැන එල්ලන්න.
• අමු ඉඟුරු සහ සුදු ලූනු කොටා එම යුෂ මේස හැඳි 5කට ජලය ලීටර් 1ක් මිශ්‍ර කර ඉසින්න.
සොලනේසි කුලයේ කොළ හැකිළෙන රෝගයට
ගඳපාන, ගන්සූරියා සහ ඇල්බීසියා කිලෝග්‍රෑම් 1 බැගින් ගෙන අමු ගොම කිලෝගරෑම් 1කට මිශ්‍ර කර ගෝණියකට දමා කට ගැට ගසා එම ගෝණිය ලොකු බැරලයකට දමා ඒ මත ලොකු ගලක් තබා ජලය ලීටර් 20ක් දමා දින 21ක ට පසු එම දියරයෙන් ලීටර් 1කට ජලය ලීටර් 3ක් මිශ්‍ර කර ඉසින්න.
මයිටාවන්ට සහ පැළ මැක්කන්ට
මැටි භාජනයකට ජලය ලීටර් 1ක් දමා හොඳින් උණු කර ගන්න. එයට පොඩි කර ගත් රතු ලූනු කිලෝග්රූම් 1ක් දමා රෙදි කඩකින් කට ගැට ගසා පැය 24ක් තබා පෙරා ගන්න. පෙරා ගත් දියරයට ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසින්න.
අඹන්පොළ විශේෂ - සකුන්තලා ජයසිංහ