Friday, 19 April 2024

මං නැති අවුරුදු

Posted On Friday, 30 December 2016 08:23

වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද


අත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද
ඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද
පැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද
මේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද

පහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද
කවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද
ලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද
මං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද


© Kalani Ruwanpathirana
--April 2010

Read 1798 times