Thursday, 28 March 2024

ජනතාවට කලන්තේ

Posted On Tuesday, 22 May 2018 04:56

ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප‍්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ‍්‍රී ලංකාවට ගැලවීමක් නැත. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. රජයේ ආනයන වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. මෙම තත්ත්වයට මුහුණ දීමට  ඕනෑම ආණ්ඩුවකට සිදුවීම වැලැක්විය නොහැකි අතර උපක‍්‍රමශීලී වීම හැර අන් මගක් නැත.

ඛනිජ තෙල් ආනයනය හා රට තුළ අලෙවිය පහසු ව්‍යාපාරයක් නොවේ. ලෝක වෙළඳ පොලේ නිතර වෙනස් වන මිල ගණන් සමග රට තුළ ස්ථාවර මිල මටට්මක් පවත්වා ගැනීම දුෂ්කරය. ඉතිහාසයේ සිට උගන්වන පාඩම එයයි. ක‍්‍රම දෙකකින් එයට මුහුණ දිය හැකිය. එකක් වසර පුරා සාමාන්‍ය මිලක් පවත්වාගැනීම. මිල වැඩි කාලයේ දී අඩු මිලට විකිණීමෙන් ලාභ උපයන අතර බොර තෙල් මිල වැඩි වන වකවානුවේ දී මුලින් ලැබූ ලාභයෙන් පාඩු පියවා ගැනීමය. අනෙක් ක‍්‍රමය ඉතා තරගකාරී ව්‍යුහයකින් පවත්වාගෙන යාම බව සඳහන් කළ යුතුය. ලෝක වෙළඳ පොලේ මිල අඩු වැඩිවන සෑම අවස්ථාවකම එහි මිලට අනුකූල වන මිල සූත‍්‍රයක් නඩත්තු කිරීමය. ඒ සඳහා  රට තුළ තෙල් ආනයනය හා විකිනීමේ ඒකාධිකාරය ඉවත් කළ යුතු අතර තද නියාමනයක් අවශ්‍යය. සහන දිය යුතු අංශ ඇත්නම් කෙලින්ම අය වැය ලේඛනයෙන් මුදල් වෙන්කළ හැකිය.

එසේ හෙයින් ඉන්ධන මිල සූත‍්‍රය මෙකී පැති නොසලකා ඉතාම නරක වෙලාවක හදුන්වා දුන් යහපත් ආර්ථික සංකල්පයකි. ජනතාව මුහුණ පා සිටින පීඩනය නොසලකා ගත් තීරණයකි. මෙරට ආර්ථිකය දුෂ්කර තැනක පවතින අතර ජනතාව එයින් පීඩා විඳිමින් සිටිති. ආර්ථික වර්ධනය පහත වැටී තිබේ. වැඩ කරන ජනතාව මත තව තවත් බදු පනවා ඇත. බදු සංශෝධන වල බර පාරිභෝගිකයන් මත පැටවී ඇති අවස්ථාවක ඔවුහු තවත් අසීරු අඩියකට පත් කරමින් ඉන්ධන මිල ගණන් ද ජනතාව වෙත හැරවීම සුදුසු නැත. ප‍්‍රජාව මුහුණ පා සිටින දුෂ්කරතා ගැන ප‍්‍රමාණවත් අවබෝධයක සිටීම ජනතාවාදී ආණ්ඩුවක ප‍්‍රධාන ලක්ෂණයකි. තීරණ ගැනීම පමණක් නොව තීරණයක් ගැනීමට ඉතාම නුසුදුසු මොහොත නිසි සේ හදුනාගෙන තිබීම දක්ෂ පාලකයන්ගේ වගකීමකි.

සෘජු බදු වැඩිකර, ඉන්ධන මිල සූත‍්‍රයක් පනවා පාලනය විනිවිද කරන බව පෙන්වන ආණ්ඩුවේ මැති ඇමැතිවරු එය ඔවුන්ට අනුගමනය නොකරන්නේ ඇයි? කැපවීම දුප්පතුන්ටය. අති විශාල බදු සහන මැති ඇමැතිවරන්ටය. බදු රහිතව ආනයනය කරන වාහනයක මිල ලක්ෂ හාරසියය, පන්සියය ඉක්මවයි. මේවාට තෙල් ජනතාවගේ බදු වලින් බව සඳහන් කළ යුතුය. මැති ඇමැති දීමනා, ගොඩනැගිලි කුලී, ගුවන් ගමන් වියදම්, විදේශ සංචාර, කාර්යාල නඩත්තුව පමණක් නොව පාර්මේන්තුවට යන එන දීමනා ද ජනතාවට බරකි. පලාත් සභා, පලාත් පාලනය සහ රාජ්‍ය යාන්ත‍්‍රණයේ නිලධාරී පැලැන්තිය කිසිම අවස්ථාවක කැපවීමක් කරන්නේ නැත. රට දුෂ්කර තැනෙක පසුවන බව ඔවුන්ට දැනෙන්නේ නැත්තේ ඇයි? එක දවසක් අඩු මිලට තෙල් මිල දී ගැනීමට ජනතාව තෙල් පෝලිමේ සිටින අතර වාරයේ ආරක්ෂකයන් පිරිවරාගෙන නිල වාහන වලින් සැරිසරන මෙරට දේශපාලනඥයන් රටට දෙන ආදර්ශය කුමක්ද? ජනතා නියෝජිතයන් වශයෙන් රට තුළ පවතින තත්ත්වය ගැන කැක්කුමක්, වේදනාවක් නැති පාලකයන්ගෙන් අපේක්ෂා කළ හැකි දර්ශනය කුමක්ද?

මිල සූත‍්‍රයක් කරගෙන යන හැකියාව මෙරට ආර්ථිකයට නැත. වෙළඳ පොල යාන්ත‍්‍රණය ඉතාම දුර්වල තැනක තිබිය දී මිල අඩු කිරීම හා නැවත වැඩි කරන හැම අවස්ථාවකම පාඩුව පාරිභෝගිකයා වෙත පැවරෙන බව නිසැකය. තෙල් මිල අඩුවන විට ඒවායේ වාසිය ගොවියාට ලැබෙන සේ වට්ටක්කා ප‍්‍රවාහනය කරන්නට මෙරට භාණ්ඩ ප‍්‍රවාහන අංශ සූදානම්ද? වහා ගාස්තු අඩු කරන්නට බස් සංගම් නිවේදන නිකුත් කරනවායැයි උපකල්පනය කළ හැකිද? මැති ඇමැතිවරු හා නිලධාරීහු මෙම ප‍්‍රශ්න වලට උත්තර දිය යුතුය.

2018/05/16 – ලංකාදීප

Read 1275 times