Thursday, 02 December 2021

දූපත් රටවල් දියේ ගිල්වන ලෝක බලවතුන්

Posted On Tuesday, 28 July 2020 07:44
 
 
 

 ස්ටෙෆාන් ටෝනිගේ ඇස ස්විස් නදියේ මඩ පැහැ ජලය දෙසට යොමු වන විට ඔහු උතුරු මුහුද ආශ්‍රිතව පර්‌යේෂණයන්හි නියැළෙමින් සිටියේය. ඊට දශකයකට පෙර ස්විස් නදියේ සංවර්ධන කාර්යක නියැළුණේ අලුතෙන් තනන නැව් ඒ ඔස්සේ ඉහළින් පිහිටි නැවතුම්පොළ කරා ගෙන යා යුතු බැවිනි.

මේ වෙනස්කම් මගින් ගංගාවේ ස්වාභාවික රිද්මය වෙනසට ලක් විය. මුහුදු ජලයද නදිය ඔස්සේ ගොඩබිමට ගලා ආවේය. එම රළ ප්‍රවාහය විසින් ගංගා පත්ලේ තැන්පත්ව ඇති මඩ ස්ථිර කැලැඹීමට ලක් කෙරිණි. පසුගිය වසර 120ක පමණ කාල සීමාව පුරාම උස් හා පහත් රළ අතර දුර ඇතුළු දත්ත දෙසට විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය.

කැලිෆෝනියා බහු තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥයකු වන ටෝනි පවසන්නේ නිරන්තරයෙන් නැගෙන රළ පිළිබඳ වාර්තා තබා ගත් බවය. එම දත්ත විශ්ලේෂණය කළ විට පැහැදිලි වූ කාරණා විමතිය දනවන සුලු වූ බවද ඔහු පෙන්වා දේ. ‘‘දීර්ඝ කාලීන වශයෙන් ඒවායේ වෙනස්කම් ඇති වුණා පමණක් නොවෙයි ඒවා බොහෝ සෙයින් වෙනස් වීම්වලට ලක් විය හැකි බව අපට පෙනුණා.’’යැයි ඔහු පවසයි.

වැඩි දෙනකු කල්පනා කරන්නේ එවැනි රළ ප්‍රවාහ නිරන්තරයෙන්ම දැකිය හැකි සංසිද්ධියක් ලෙස හා අපේක්ෂා කළ හැකි තත්ත්වයක් වශයෙනි. වෙරළාසන්නව රළ නැගීම මෙන්ම බැසීම සමගද හිරුගේ හා සඳුගේ බලපෑම සම්බන්ධ බව දන්නා කාරණයකි. රළ පිළිබඳ දන්නා අයුරින් එම නැගීම් හා බැසීම් පිළිබඳ ඉතා කෙටි කාලයක් තුළ අනුමාන පළ කිරීමට පළපුරුදු ඇති අයට හැකියාව තිබේ. එසේ වුවද ලොවු පුරා වෙරළාශ්‍රිතව සිදු වන මේ සංසිද්ධිය තුළ සිදු වන කැපී පෙනෙන වෙනස්කම් එලෙස පැහැදිලි කළ නොහැකි බව සමුද්‍ර විද්‍යාඥයන්ට පෙනී ගියේය.

මේ පිළිබඳ සිදු කළ අධ්‍යයනවල දී පෙනී ගියේ එවැනි වෙස්කම්වලට වගකිවයුතු වන්නේ මානව ක්‍රියාකාරකම් බවයි. ස්විස් නදියේ සිදු කළ දෑ මෙන්ම වෙරළාශ්‍රිත තෙත් බිම් ගොඩ කිරීම වැනි ක්‍රියාද අයත් වන්නේ එයටය. මෙවැනි ක්‍රියාකාරකම්වල ස්වභාවය අනුව මේ තත්ත්වය සංකීර්ණයි. ඇතැම් තැන්වල උදම් රළ නැගෙන්නේ සිතා ගැනීමටවත් අපහසු අයුරිනි. තවත් තැන්වල එය අවමය. කෙසේ වුවද උදම් රළ ප්‍රවාහවල සිදුව ඇති මේ වෙනස්කම් වෙරළාශ්‍රිතව ජීවත් වන මිලියන සියගණනක් දෙනාගේ ජීවිතවලට බලපෑම් ඇති කරන්නේය. මේ අතරින් බරපතළම අභියෝගයක් ලෙස පෙනෙන්නේ උදම් රළවල සිදු වන මෙවැනි වෙනස්කම් මුහුදු මට්ටම ඉහළ නැගීමේ අවදානම ඇති කිරීමය.

පොසිල ඉන්ධන දහනය මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමට හේතු වන අන්දමින් පරිසරයට හරිතාගාර වායුන් නිදහස් කිරීමට හේතුවන ක්‍රියාවන්වල නියැළීම දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයට ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් හිම කඳු දියව යෑම සිදු වන අතර සාගර ජල පරිමාව වැඩි වේ. එය බොහෝ වෙරළාශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු මට්ටම කිසිදා නොවූ විරූ අයුරින් ඉහළ ගොසිනි. එය ඇතැම් පහත් බිම් සාගර ජලයෙන් යට වීමට තරම් බලපා තිබේ. එය විශාල අනාගත අවදානමකි. මහා බ්‍රිතාන්‍යයේ සදම්ප්ටන් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීවවිද්‍යාඥයකු වන ඉවාන් හේ පෙන්වා දෙන්නේ මිනිසුන් අවබෝධ කර නොගන්නා කාරණය නම් මේ අන්දමින් උදම් රළ නැගීම ඉහළ ගියහොත් මෙහි බලපෑම් තවත් වැඩි වීම බවය.

''උදම් රළවල ඇති වන වෙනස්කම් ගැන ඉංජිනේරුවෝ අවම වශයෙන් ශතවර්ෂයක් තිස්සේ දැන සිටියා. ස්විස් නදියේ කළ ඉදිකිරීම් රළ ප්‍රවාහ නැගීමේ දී ඇති කළ බලපෑම් ගැන වර්ෂ 1899 පමණ සිට ඔවුහු අනුමාන කළා. එම ඉදිකිරීම් නිම කළ පසු ඔවුනට පෙනී ගියේ තත්ත්වය අපේක්ෂා කළ තරමටත් වඩා බරපතළ බවයි.'' යනුවෙන් ඔහු කියයි.

ලොව පුරා මේ ගැන දත්ත රැස් කර ගැනීමටත් ඒවා විශ්ලේෂණය කිරීමටත් හැකි වූයේ මෑතකදීය. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එම ප්‍රතිඵල මීට 10 වසරකට පෙර තිබූ තත්ත්වය සමග සසඳන විට ඉතා පුළුල් ලෙස වෙනස්කම් ඇති බවය.

උදම් රළ නැගීම සමග මහපොළොව, ඉර, හඳ යන ත්‍රිත්වයේම ගුරුත්ව බලපෑම් සම්බන්ධය. එම බලපෑම් වෙනසට ලක්ව ඇත්තේ කෙටි කලකදීම නොවේ. මේ ත්‍රිත්වය අතර ඇති අන්තර් සබඳතාව ගැන මෙහිදී අවධානය යොමු කළ යුතුය. තවද උදම් රළ චක්‍රයේ නිසාම වෙරළාශ්‍රිත ජල මට්ටම ඉහළ හෝ පහළ යෑම සිදු වේ.සමාන්‍ය තත්ත්ව යටතේ එම වෙනස්කම් සිදු කළ හැකි වුවද මෙම වෙනස් කම් නිසා ඇති විය හැකි තත්ත්වය සිතා ගැනීම අපහසුය.

මේ බලපෑම් කිලෝමීටර් සියගණනක් රට ඇතුළත දී පවා දැනෙන තත්ත්වයක් තිබේ. දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාව තරණය කරන අය උදම් රළ හඹා යයි. විද්‍යාඥ කේකි පවසන්නේ මීට හේතුව අප විසින්ම කළ වෙනස්කම් බවය. ''මේක හරියට පිහිනුම් තටාකයක හෝ නාන බේසමක ඇති ජලය හැඩය ගැනීම වගේ දෙයක්.'' ඔහු පවසයි. නොයෙක් ඉදිකිරීම් නිසා දියයට භූමි කලාපයේ ඇති වන වෙනස්කම් හේතුවෙන් උදම් රළ ප්‍රවාහවල සිදු වන වෙනස්කම් ඉතා විශාල විය හැකි බව ඔහු පෙන්වා දේ. උතුරු කැරලිනාවේ කේප් ගියර් ගංගාව නාවික ඇළ මාර්ගයක් වශයෙන් යොදා ගැනීමට හැකි වන පරිදි ගැඹුරු කෙරිණි. ඉන් පසු විල්මින්ස්ටන් නගරයේ උදම් රළ නැගීම පෙරට වඩා දෙගුණයකින් ඉහළ ගියේ මීටර් 1.55ක උස් මට්ටමක් සලකුණු කරමිනි. වර්ෂ 1880 සිට බලන විට එතරම් ඉහළ නැගීමක් සිදු වූයේ පළමු වරටය.

ශාන්ත ජෝන් ගංගාවට ඇති වූ බලපෑම් නිසා ෆ්ලොරීඩාවේ ජැක්සන්විල් ප්‍රදේශයට

කැලිෆෝනියාවේ, සැත්‍රමෙන්ත්‍රොහි කණින ලද රන් ආකර හේතුවෙන් වර්ෂ 1880 ගණන්වල අගභාගයේ දී උදම් රළ නිරීක්ෂණය නොවන තත්ත්වයක් ඇති විය. ලන්ඩන්, තේම්ස් නදියේ වසර සියගණනක් මුළුල්ලේ සිදු කළ ගැඹුරු කිරීම් හා පටු කිරීම් වැනි වෙනස්කම් හේතුවෙන් රෝමානු යුගයේ දී පැවැති උදම් රළ මට්ටම වන අඩි 6.6, වික්ටෝරියානු යුගයේ දී එය අඩි 26.2 දක්වා විශාල වශයෙන් ඉහළ නැගීමට බලපෑ බව පෙනී ගොස් තිබේ.

මෙවැනි වෙනස්කම් බලශක්ති උත්පාදනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ද ඇති වන බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. Marine Science සඟරාවේ අලුත්ම කලාපයට ලිපියක් සපයමින් ටෝකි සහ ඔහුගේ පර්‌යේෂණ කණ්ඩායම මේ ගැන සඳහන් කරයි. ෆන්ඩි බොක්ක පිහිටා ඇත්තේ නිව් බ්‍රන්ෂ්වින් හා කැනඩාවේ නොවා ස්කොටියා අතරය. උදම් රළ ප්‍රවාහයන්ගේ සිදුව ඇති බරපතළ වෙනස්කම් දිනපතා පාහේ මීටර් 11ක පමණ නැගීම් හා බැසීම්වලින් යුතුව රළ නගන තත්ත්වයක් ඇති කර තිබේ. විද්‍යාඥයෝ පවසන පරිදි එය මෙවැනි වෙනස්කම් සඳහා කැපීපෙනෙන නිදසුනකි.

‘‘ද්‍රෝණිය දිගේ ජලය ගලා බැසීමේ දී ඇති වන බලපෑම් උදම් රළ මත ඇති කරන බලපෑම අපට මේවායින් තේරුම් ගැනීමට පුළුවන්.’’වෙරළාශ්‍රිතව ජීවත් වන ජනයාට මෙවැනි වෙනස්කම්වල බලපෑම් නොයෙක් ආකාරවලින් දැනෙන බව පැහැදිලිය. එතරම් උස් නොවූ පාලමක් යටින් උස් නාවික යාත්‍රාවක් රැගෙන යෑමට අවශ්‍ය අයකුට තමන්ට අවශ්‍ය අවස්ථාවේ එයකළ නොහැකි වන්නේද මේ හේතුවෙනි. ගං ඉවුරු අසබඩ නිවසක් ඉදි කරන අයකුටද රළ නැගීම කොපමණ උස් මට්ටමකට සිදුවන්නේද යන්න ගැන සැලකිලිමත් වීමට සිදු වේ. මුහුදු රළ භාවිතා කරමින් බලශක්ති උත්පාදනය ගැන කටයුතු කරන ඉංජිනේරුවෝ ඒ සඳහා බලශක්ති පද්ධතියක් නිර්මාණය කරන්නේ ගලා යන ජල ප්‍රවාහයෙන් කොපමණ බලශක්ති උත්පාදනයක් කළ හැකිද යන්න පිළිබඳ සැලකිලිමත් වෙමිනි. වෙනස් වන රළ පිළිබඳ සිදු කරන අධ්‍යයන ඔස්සේ ලබාගෙන ඇති දත්ත එම නිරීක්ෂණ මෙන්ම නිගමන වෙනස්වන ලෝකයට සූදානම් වීම සඳහා මිනිසුන්ට ප්‍රයෝජනවත් වේ.

වඩාත් වැදගත් කාරණයක් නම් ඒවා ඇසුරින් අනාගත මුහුදු මට්ටම පිළිබඳ සැලකිලිමත් වෙමින් ඉංජිනේරුවන්ට සිය සැලැසුම් පිළියෙල කිරීමට ඉන් මඟපෙන්වීමක් සැපයීමයි. මෑතක දී දකුණු චීනයේ, පර්ලි ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිතව සිදු කළ අධ්‍යයනය ඒ ආශ්‍රිතව ජීවත් වන මිලියන 60ක් පමණ ජනතාවට වැදගත්ය. එක්සත් රාජධානියේ ලිවර්පුල්හි ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ සමුද්‍ර විද්‍යාඥවරියක වන මිෂෙලාඩ් මොමිනික්ස් හා ඇයගේ කණ්ඩායමට මුහුදු රළ ඉහළ නැගීම අනාගතයේ සිදු කළ හැකි වෙනස්කම් පිළිබඳ පුරෝකථන කළ හැකි සාධක ඉදිරිපත් කර ඇත. ඩෙල්ෆ් ආශ්‍රිත මුහුදු මට්ටම මීටර් 0.5ක් මීටර් 2.1ක් අතර ප්‍රතිශතයකින් ඉහළ නැගීම යනු උදම් රළ නැගීම මීටර් 0.1ක් 0.5ක් අතර ප්‍රමාණයකින් ඉහළ යෑම නිරීක්ෂණය කළ හැකි ත්ත්වයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවැනි සංඛ්‍යාමය දත්ත එක්ව ගත් විට සාගර ජල මට්ටම මීටර් 0.6ක් මීටර් 2.6ක් අතර ප්‍රමාණයකින් ඉහළ නැගීම අපේක්ෂා කළ හැකිය.

පර්ල් ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිත ගුවන්ෂු ෂෙෂෙන් වැනි නගර එලෙස ජල මට්ටම්වල ඉහළ නැගීමෙන් ලොව දරුණුම බලපෑම් ඇති විය හැකි ස්ථාන ලෙස පෙනීගොස් ඇතැයි විද්‍යාඥ ඩොමිනික්ස් පෙන්වා දේ. මෙම අනාවරණ ඔස්සේ සැලැසුම් ශිල්පීන්ට වඩා හොඳින් ආරක්ෂිත බාධක ඉදි කිරීම, වෙරළ තීර ආරක්ෂා කර ගැනීම වැනි පියවර ගැනීමට අවස්ථාව සැලැසී ඇත.

එලෙස වඩදිය සහ බාදිය පිළිබඳ දැක්වීම සඳහා පර්‌යේෂකයෝ පරිගණකය ඇසුරින් ආකෘති නිමවා තිබේ. ඒ ඇසුරින් වෙරළ තීර ජලයෙන් යට වීම පිළිබඳ මනාව පැහැදිලි කරගත හැකිය. දැනටමත් මෙවැනි වෙනස්කම් හේතුවෙන් සුළි කුණාටු වැනි තත්ත්වලදී ඇති වන බලපෑම් ගැන නිරීක්ෂණය වේ.

වර්ෂ 2016 දී ටෝකි හා ඔහුගේ කණ්ඩායම් කේප් ගියර් නදිය ආශ්‍රිතව මෙම බලපෑම් නිරීක්ෂණය කරමින් සුළි කුණාටුවකදී විය හැකි තත්ත්වය පැහැදිලි කළහ. දර්ශකයේ 5 වැනි පරිමාණය දක්වන සුළි කුණාටුවක දී වන හානි එහි දී අවබෝධ කර ගත හැකි විය. විල්චින්ස්ටන් හි ජල මට්ටම මීටර් 1.8කින් ඉහළ නිරීක්ෂණය විය.

වර්ෂ 2018 දී අංක 01 වර්ගීකරණයට අයත් සුළි කුණාටුවක දී වූ ෆ්ලොරන්ස් සුළි කුණාටුව අවස්ථාවේ විල්චින්ටන්හි උදම් රළ මට්ටම මීටර් 1.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය අනාගතය සඳහා සූදානම් වීමට රතු එළි දැල්වීමකි. හැම නවීකරණයක්ම අප ජීවත් වන ලෝකයට ඇති කරන බලපෑම් ගැන අවබෝධ කරගැනීමට පෙලඹවීමකි.

ටෝකි, එය එක් වාක්‍යයකින් දක්වන්නේ මෙලෙසිනි. ‘‘පුංචි පුංචි වෙනස්කම් රාශියක එකතුවක් කියන්නේ ඇත්තටම විශාල වෙනසක් සිදු කිරීමකි.’’

•ධම්මික සෙනෙවිරත්න

අරුණ පුවත්පත 

Read 312 times