Friday, 26 April 2024

චීන ලංකා සබදතා

Posted On Saturday, 31 December 2016 08:06

ලෝකයේ විටින් විට මහ බලවතුන් නිර්මාණය වේ. කාලයත් සමග එම බලවතුන් යටපත් වෙයි. නව බලවතුන් ඇති වේ. අද ලෝකයද නව බලවතෙකු පිළිබද කතා කරමින් හිදී. ඒ චීනයයි. පැවති ඇමරිකානු බලාධිකාරය කෙමෙන් වියැකෙමින් චීනය එම තැන ලබාගනිමින් හිදියි. අද ලොව වඩාත් වේගයෙන් සංවර්ධනය කරා ඇදී යන රටකි චීනය.


පසුගියදා චීන මහජන සමූහාණ්ඩුවට 60 වසරක් සපිරුණි. ශ්‍රී ලංකාව හා චීනය පිළිබද යටගිය මතක සටහන් අවදි වූයේ එහෙයිනි.
චීන ශිෂ්ඨාචාරය ලොව පැරණිතම ශිෂ්ඨාචාරය බව සමහරෙකුගේ මතයයි. කෙසේ වුවද වැඩිදෙනෙකු විශ්වාස කරන්නේ ලෝක ශිෂ්ඨාචාරය ආරම්භ වන්නේ චීන මොංගෝලියානු ශිෂ්ඨාචාරයෙන් බවයි.

ශ්‍රී ලංකාවට මුලින්ම රාජ දූතයන් ඒවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ චීනය පාලනය කළ හෑන් රජ පෙළපතේ පිං අධිරාජයා බව චීන ඉතිහාසඥයන්ගේ මතයයි. ශ්‍රී ලංකාව පිළිබද ඉපැරණිම සටහන් තබා ඇත්තේ චීනයේ සිට ආ ෆාහියන් හිමියන්ය. උන්වහන්සේ ක්‍රි.ව. 411-412 අතර කාලයේ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ වැඩ වසමින් ලංකාව පිළිබද ඓතිහාසික විස්තර රැසක් සටහන් කර තිබේ. ෆාහියන් හිමියෝ එදා ලංකාව හදුන්වා ඇත්තේ රත්නදීප නමිනි. ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපතිවරයෙකු වූ ජියැං ඕංචෙක් මහතා තැනෙක සදහන් කර ඇත්තේ “තාන් දේශයේ ඉතිහාසය” නම් ඉපැරණි ග්‍රන්ථයේ එදා “සිම්හල රට” (ශ්‍රී ලංකාව) ගැනද සදහන් කර ඇති බවයි.

1978 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීය. එවකට චීනය පාලනය කරන ලද්දේ ගොමින් තාං රජයයි. ලංකාව සමග රාජ තාන්ත්‍රික සබදතා මුල්වරට ආරම්භ කරන ලද්දේ එම රජයයි. ශ්‍රී ලංකා රජය මුල්වරට නිල වශයෙන් ලියවිල්ලක් චීනයට යවා ඇත්තේ 1950 ජනවාරි 7 වැනිදාය. ඒ චීන මහජන සමූහාණ්ඩුව පිහිට වූ පසුය. එදා මෙරට අගමැති ඩී.එස්. සේනානායක මහතා චීන ආණ්ඩුවට රාජ්‍ය සන්දේශයක් යවමින් ලංකාව චීනයේ මධ්‍යම ආණ්ඩුව පිළිගත් බවත් එදා පටන් ගොමින්තාං රජය සමග පැවැති සබදතා නතර කරන බවත් දැන්වීය.

එතැන් පටන් අද වනතුරු චීනයේ සුමිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අත්වැල් බැදගෙන සිටී.
1957 ජනවාරි මාසයේදී චීන අගමැති චෞ එන් ලායි මහතා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා පිහිටුවීම පිළිබද ගිවිසුමට අත්සන් තැබීම සදහා මෙරටට ආවේය. අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමග චීන අගමැතිවරයා මෙහිදී දකුණු ආසියානු හා ලෝකයේ ඇතැම් ගැටලු පිළිබද සාකච්ඡා කොට ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කලේය. මෙතැන් පටන් දෙරටෙහිම රාජ්‍ය නායකයන් විටින් විට චීන ලංකා සම්බන්ධතාවය තර කිරීමට කටයුතු කලහ.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අගමැති ආර්. ප්‍රේමදාස, අගමැති ඩී.බි. විජේතුංග, අගමැති රනිල් වික්‍රමසිංහ, අගමැති රත්නසිරි වික්‍රමනායක, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්, කාථානයක විජමු ලොකුබණ්ඩාර, විදේශ ඇමති මංගල සමරවීර යන මහත්ම මහත්මාවරුන් ඒ අතර වෙයි.

දෙරට අතර සාමකාමී පැවැත්ම පිළිබදවත් ජාත්‍යන්තර ප්‍රශ්න ගැනත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට සදහාත් ඔවුහු සාකච්ඡා පවත්වා ඇත. චීනය මෙරට ස්වාධීනත්වය හා ස්වෛරීත්වයත් භූමියේ අඛණ්ඩතාවයත් සැමවිටම පිළිගත් අතර ඊට සම්පූර්ණ අනුබලයද දුන්නේය. එසේම ශ්‍රි ලංකා රජයත් එකම චීනයක් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තායිවානය, චීනයෙන් වෙන් කිරීමට විරුද්ධත්වය පල කලේය.
සටහන - දිස්නා බණ්ඩාර

Read 2284 times