Friday, 19 April 2024

නැඟෙනහිර යුක්රේනයේ දරුණු සටන් ගොඩනැඟිලි රැසක් බිමට සමතලා වෙයි Featured

Posted On Wednesday, 08 June 2022 03:04

නැගෙනහිර යුක්රේනයේ වෙනම රාජ්‍යයක් ලෙස රුසියාව විසින් පිළිගනු ලැබූ ඩොන්බාස් කලාපයේ ලුහාන්ස් හි පිහිටි සෙවරොඩොනෙට්ස්ක් නගරයේ මේ වන විට රුසියා හමුදාව සහ යුක්රේන හමුදාව අතර දරුණු සටන් ඇවිළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නගරය මේ දින කිහිපය ඇතුළත යුක්රේන යුද්ධයේ වඩාත්ම දරුණු ප්‍රහාර එල්ල වන නගරය බවට පත් වී ඇතැයි යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන මේජර් ජෙනරාල් කිරිලෝ බුඩානොව් ද තහවුරු කර තිබේ. දැනට එම කලාපයේ යුක්රේන හමුදාව අත්පත් කරගෙන සිටින එකම නගරය ලෙසත් සැලකෙන සෙවරොඩොනෙට්ස්ක් නගරයේ බලය අත් කරගෙන සිටින යුක්රේන හමුදාවට රුසියා හමුදාව අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ ප්‍රහාර හමුවේ යුක්රේන හමුදාව ක්‍රම ක්‍රමයෙන් සෙවරොඩොනෙට්ස්ක් නගරයෙන් පසු බසිමින් සිටින බවට රුසියා ආරක්ෂ අමාත්‍යාංශය නිවේදන නිකුත් කළ ද, නගරයේ බලය තහවුරු කරගැනීමට යුක්රේන හමුදාව සමත්ව සිටින බව යුක්රේන රජය නිවේදනය කර තිබේ.

 

ඩොන්බාස් කලාපයේ උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් සෙවරොඩොනෙට්ස්ක් නගරයේ ගොඩනැගිලි පොලොවට සමතලා වී ඇතැයි ද, වරින් වර රුසියා මිසයිල ප්‍රහාරවලින් නගරය තවදුරටත් විනාශ වෙමින් තිබෙන බව ද වාර්තා වේ.

සෙවරොඩොනෙට්ස්ක් නගරයේ වැඩි කොටසක පාලනය තවමත් යුක්රේන හමුදාව සතුව පවතින අතර, යුක්රේන හමුදාව සෙවරොඩොනෙට්ස්ක් නගරයේදී යටත් නොවන බව නගරාධිපති ඔලෙක්සැන්ඩර් ස්ට්‍රියුක් ප්‍රකාශ කර ඇත. යුද බිමේ සිට වාර්තා ඉදිරිපත් කරන රුසියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු පවසන පරිදි රුසියාවේ ඉහළ මට්ටමේ හමුදා නිලධාරියකු වන මේජර් ජෙනරාල් රොමාන් කුටුසොව් මේ යුද ගැටුම්වලින් මරුමුවට පත්වී තිබේ.

Read 507 times