Friday, 19 April 2024

ශ්‍රී ලංකවට එරෙහි අන්තර්ජාතික බලපෑම්

Posted On Saturday, 31 December 2016 08:07

ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික බලපෑම් ගතවූ කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒවා අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීයැයි කියන සිද්ධීන් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සූදානම් වීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී යැයි කියන සිද්ධීන් සාකච්ඡාවට ගැනීමට උත්සාහ දැරීමද මුල් තැන ගනියි. අන්තර්ජාතික කෝණයෙන් බලන කල වෙනත් රටවලට මෙම සිද්ධීන් එතරම් වැදගත් නොවන්නට පුළුවන. එහෙත් ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත කෙරෙහි එම සිද්ධිවල බලපෑම අතිමහත්ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන සොයා බැලීම පිණිස උපදේශක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රියා කිරීම මුළුමනින්ම අනවශ්‍ය, නොකළ යුතු ක්‍රියාවකැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ‍ ලේකම්වරයාට අවධාරණය කළේය. සන්නද්ධ අරගල මධ්‍යයේ විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය වන රටවල් ගැන සොයා බැලීමට ක්‍රියා නොකරන පසුබිමක් තුළ ශ්‍රීලංකාව ගැන කටයුතු කිරීමට සැරසීම පිළිගත නොහැකි යැයිද එතුමා කීවේය. කොටි සංවිධානය මානව හිමිකම් උල්ලංඝණය කිරිම ගැන එක්සත් ජාතීන් එදා කතා කළේ නැත. ළමා සොල්දාදුවන්ගේ ප්‍රශ්නය ගැනත් කොටින් විසින් බෞද්ධ හින්දු මුස්ලිම් පූජනීය ස්ථාන විනාශ කරමින් එම ආගම්වල පැවිද්දනුත් සාහසික ලෙස ඝාතන කිරීම ගැනත් එක්සත් ජාතීන් එදා අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි.

ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම්වලට “අන්තර්ජාතික බලපෑම” යැයි ඇතැම් අය කීවත් එම බලපෑම එල්ල කරනු ලබන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ‍නෝර්වේ වැනි රටවල් කිහිපයකින් මිස මුළු ලෝක ප්‍රජාවම නොවේ. බෑන් කී මූන්ගේ යෝජනාවට රටවල් 118 කින් සැදී නොබැදි ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සමග එක්ව විරෝධය පල කිරීම තුළින් මෙය හොදින් අවබෝධ කර ගත හැකිය. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එල්ලවී තිබේ. ඒවාට පසුබිමක්ද ඇත. විදේශිකයන් ශ්‍රී ලංකාව අදත් හදුන්වන්නේ ඉසුරු කොදෙව්වක් ලෙසිනි. බටහිර ටවල් මෙම ඉසුරු කොදෙව්ව කලක් අල්ලා ගෙන සිටියත් අන්තිමේදී ඔවුනට එය අත හැර දමා ආපසු යෑමට සිදු විය. ඔවුන් ගියේ කැමැත්තෙන් නොවේ. හැකි ඉක්මනින් ආපසු පැමිණීමේ බලාපොරොත්තුවෙනි.

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළෙද මාර්ගයක විශාල මුහුදු ප්‍රදේශයකට විවෘතව පිහිටා ඇත. ඒ පිහිටීම සිංගප්පූරුවේ පිහිටීමට වඩා වටින්නේ සිංගප්පූරුවට ලගා වීම සදහා මලක්කා සමුද්‍ර සන්ධිය අස්සෙන් යෑමට සිදුවී තිබීම නිසාය. ඉන්දියන් සාගරය හරහා යාත්‍රා කරන නැව් වැඩි හරියක් ගෙන්වා ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ මුහුද වටා හම්බන්තොට ඇතුළු වරාය පහක් දැන් අලුතින් ඉදි කෙරෙයි. බටහිර රටවල බලාපො‍රොත්තුව ශ්‍රී ලංකාවේ වරායවල අයිතිය තමන් සතු කර ගැනීමය. එබැවින් චීනය ඉන්දියා සාගරයේ තම මුහුදු බලය ව්‍යාප්ත කරනවාට ඒ රටවල් අකැමැතිය.

ශ්‍රී ලංකාවේ මුහුදු  පතුලේ ඇති ස්වාභාවික සම්පත් විශේෂයෙන් තෙල් ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් සහ මන්නාරමට ඔබ්බෙන් මුහුදේ අලුතෙන් සොයා ගෙන ඇති විකිරණශීලී ද්‍රව්‍යවලින්  වන තෝරියම්ද මත්ස්‍ය සම්පතද නෙලා ගැනීමට බටහිර රටවලට අවශ්‍ය ඇත. ඒ සදහා ඔවුන්ගේ උපක්‍රමය වූයේ උතුරු නැගෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක් හෙවත් ඊළමක් පිහටුවා ශ්‍රී ලංකා රජය දුර්වල කර සම්පත් කොල්ල කෑමය. ශ්‍රීලංකාව දුර්වල වූ විට ඔවුන් බලාපොරොත්තු වූයේ හම්බන්තොට සිට දක්ෂිණ ද්‍රවය දක්වා වන මුළු මහ සයුරම තම පාලනය යටතට ගැනීමයි. රට අභ්‍යන්තරයේ ඇති සම්පත් කොල්ලකෑමද ඔවුන්ගේ තවත් අරමුණකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙමළ කොටි සංවිධානය විනාශ කර රට එක්සත් කිරිම නිසා බටහිර රටවල අපේක්ෂා බිද වැටිණි. එහි ප්‍රතිපලය වූයේ ඔවුන් ශ්‍රී ලංකාවට අනවශ්‍ය ලෙස හිරිහැර කිරීමය. බන්කි මූන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කළේ ඒ අයුරිණි. ඔහු මෙහිදී ක්‍රියා කර ඇත්තේ ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල කීකරු සේවකයකු ලෙසිනි.

බටහිරට අවශ්‍යවී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනුබද්ධ ආයතන තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර රට අසීරුවට පත් කිරීම නොව එම සංවිධානවලින් පිටතදී ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමය. එයට හේතුව වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට ඇමරිකාවට වඩා මිතුරන් සිටීමය. බෑන් කී මූන්ට එරෙහිව නොබැදි ජාතීන් ලංකාවේ ආධාරයට පැමිණීම මෙහිදී දිය හැකි හොදම උදාහරණයයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිවීමේ ලජ්ජාව විද දර ගත්තත් විවිධ සංවිධාන හරහා ශ්‍රී ලංකාවට හිරිහැර කිරිම අඩු කරනු ලැබුවත් ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමේ අපේක්ෂාව නම් බටහිර රටවල් අත් නොහරිනු ඇත. ඒ සදහා ඔවුනට හොද උදව්කරුවෝ ශ්‍රී ලංකාවේම සිටිති. ඔවුන් නම් ශ්‍රී ලංකාවට වඩා බටහිර රටවල් ලොකුවී සිටින ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන්ගේ අනුග්‍රහය බටහිර රටවලට නොමදව ලැබෙයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එය හොදින් දැක ගත හැකි විය. ඒ අවස්ථාවේ ඔවුහු රටත් ජනාධිපතිතුමාත් ආරක්ෂක හමුදාවනුත් කිසිම චකිතයකින් තොරව පාවා දුන්හ. බටහිර රටවලත් ඔවුන්ගේ ශ්‍රී ලාංකික අනුගාමිකයනුත් රටට කරන විනාශය කෙරෙහි බහුතර ශ්‍රී ලාංකිකයන් හොද විමසිල්ලෙන් සිටිය යුතු කාලය මෙයයි. එය රටේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහිද ලොකු බලපෑමක් කෙරෙන බව මතක තබා ගැනීම වැදගත්ය.

 

සී.පී කුරුප්පු

Read 1559 times