Friday, 02 May 2025

සන්නස ක්‍රීඩා

ජාතික ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව හෙට මහනුවරට

Posted On Wednesday, 13 September 2017 05:00

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට පෙර පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ගෙන යන ගිණිසිළුව හෙට (14)  මහනුවරට ලගාවීමට නියමිතව ඇත.
 


ඒ අනුව නුවරඑළියේ සිට රැගෙන එන ගිණිසිළුව හෙට පස්වරු 2.30 ට ගැටඹේ පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ඉදිරියේදී පිලිගැනීමට නියමිතය. ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩාකයින් සහ ක්‍රීඩා පදනම්වල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ පෙරහැරකින් එම ගිණිසිළුව මහනුවර දුම්රියපොළ ඉදිරියට ගෙන ඒමට නියමිතය. අනතුරුව එම ස්ථානයේ විශේෂ උත්සව අවස්ථාවක්ද පැවැත්වීමට නියමිතය.
 
15දා  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ සහ පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන, ක්‍රීඩා සංවිධාන සහ පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන උත්සවයකින් අනතුරුව ගිණිසිළුව රැගත් කණ්ඩායම මාතලේ දිස්ත්‍රික්කය දක්වා ගමන් කිරීමට නියමිතය.
 
මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 43 වැනි ජාතික මහා ක්‍රීඩා උත්සවයයි. මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 22දා ආරම්භ වන මෙම ක්‍රීඩා උත්සවය 24දා අවසන් කිරීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යංශය පිහිටුවා වසර 50 ක් සපිරීම ද මෙවර ජාතික මහා ක්‍රීඩා උත්සවයේදී අභිමානයෙන් සැමරීමට කටයුතු යොදා තිබේ.

Read 2205 times