Wednesday, 24 April 2024

ටවර් හෝල් කලාකරු මාසික දීමනාව ඉහළට

Posted On Wednesday, 10 October 2018 04:51

ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් ලබාදෙන මාසික දීමනාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.


 මෙරට දේශීය නාට්‍ය හා රංගකලාවට අනුපමේය සේවාවක් ඉටු කළ ප්‍රාසාංගික කලාකරුවන්ගේ සහ ටවර් හෝල් ශිල්පීන්ගේ වෘත්තීය සුභසාධනය වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි ජීවිතියේ සැදෑ සමය ගෙවන කලාකරුවන්ට 2018 සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක වන පරිදි එම මාසික දීමනාව රු: 1000/- කින් වැඩි කිරීමට ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් භාරකාර මණ්ඩලය තීරණය කර ඇතැයි ටවර් හෝල් රඟහල පදනම අවධාරණය කරයි.

 

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව මෙරට නාට්‍ය හා රංගකලා ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටු කළ ටවර් හෝල්
කලාකරුවන් ඇතුළු ප්‍රාසාංගික කලාකරුවන්ගේ මෙම මාසික දීමනාව වැඩි කිරීම සඳහා සිදු කළ සෘජු මැදිහත්වීමෙන් අනතුරුව ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය විසින් මෙම දීමනාව වැඩි කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි ටවර් හෝල් රඟහල පදනම පවසයි.

 

ටවර් හෝල් රඟහල පදනම විසින් ආරම්භ කර ඇති පස් අවුරුදු සංවර්ධන සැලැස්ම යටතේ මෙරට නාට්‍ය හා රංගකලා ක්ෂේත්‍රය පුළුල් සංවර්ධනයකට ලක්කිරීමට කටයුතු කරන අතරතුර මෙරට ටවර් හෝල් සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කරමින් ප්‍රාසාංගික නාට්‍යකරුවන්ගේ වෘත්තීය සුභසාධනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ වන විටත් සැළසුම් සකස් කර ඇත.

 

විෂයභාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රජය පසුගිය අයවැයෙන් ටවර් හෝල් ප්‍රාසාංගික කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා වෙන් කර තිබෙන රුපියල් මිලියනක මුදලින් කලාකරුවන් වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ද ලබා දීම සඳහා මේ වන විට මූලික වැඩ කටයුතු සිදු වෙමින් පවතින බවද ටවර් හෝල් රඟහල පදනම පවසයි.


ගරු අගමැතිතුමන් විසින් ටවර් හෝල් කලාකරුවන් ඇතුළු ප්‍රාසාංගික කලාකරුවන් 179 දෙනෙකුට වැඩි කළ මෙම මෙම රු 1000/- ක දීමනාව මීට පෙර අවසාන වරට වැඩි කර ඇත්තේ 2006 වසරේ දී බව පවසන ටවර් හෝල් රඟහල පදනම මෙරට නාට්‍ය හා රංගකලා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය ඉදිරියේදී තවත් පුළුල් සේවාවන් රැසක් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි ද අවධාරණය කරයි.