Friday, 29 March 2024

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම - වෙනස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්- සිද්ධියට පරීක්ෂණයක්

Posted On Friday, 26 October 2018 04:54

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම - වෙනස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්- සිද්ධියට පරීක්ෂණයක්


2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළව ආසන්න පදනම යටතේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන ලද දරුවන් සඳහා ලබා දුන් ලේඛණයේ අඩංගු අවසන් ලකුණු තාවකාලික පොරොත්තු ලේඛණයට ඇතුළත් කිරීමේ දී වෙනස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස අදළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රජය විසින් තොරතුරු දැනගැනීමේ පනත පවා බලාත්මක කර ඇති අවස්ථාවක ඇතැම් පාසල්වල වගකිවයුතු නිලධාරීන් සිතාමතා හෝ වගකීම් විරහිත ලෙස මෙලෙස පරස්පර ලකුණු මාපියන් අතට පත් කිරීම කිසි විටෙකත් අනුමත කළ නොහැක්කක් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉතා තීරණාත්මක අවස්ථාවක් වන පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ විනිවිද භාවයෙන් සහ සාධාරණ ලෙස පවත්වන්නේද යන්න අවධානය යොමු කරන ලෙසත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සෘජුවම පාලනය වන ජාතික පාසල් වල අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ආකාරයේ විනිවිද භාවය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව තම දරුවන්ට අසාධාරණයක් සිදු වී ඇති බවට මාපියන්ට සැකයක් මතුවන ඕනෑම අවස්ථාවක දී තොරතුරු දැනගැනීමේ පනත හරහා අදාළ තොරතුරු විමසා සිටීමට ඇති අයිතියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් කටයුතු කරන ලෙසත් අසාධාරණයක් සිදුව ඇති ඕනෑම අවස්ථාවක දී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා මාපියන් සහ දරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට කැප වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.