Friday, 19 April 2024

ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානමක්- පරිසරය පවිත්‍රව තබාගන්න

Posted On Thursday, 27 December 2018 05:43

ඩෙංගු රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව සැළකිලිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් පරිසරය පවිත්‍රව තබා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.


මේ දිනවල කැලණිය, බියගම, මහර, අත්තනගල්ල සහ වත්තල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි යම් ඩෙංගු වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව පැවසූ ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර මහතා පසුගිය වසර හා සසදා බලන විට මෙම වසර තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නොතිබුණ ද මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත ඩෙංගු මදුරු ගහණය වැඩි විය හැකි බැවින් ජනතාව මෙසේ සැලකිලිමත් විය යුතු බව ද සඳහන් කරනු ලැබීය.

විශේෂයෙන්ම පාසල් නිවාඩු කාලය ඇරඹීමට ප්‍රථමයෙන් පාසල් පරිශ්‍ර පවිත්‍ර කිරීම කෙරෙහි ගුරු මණ්ඩලවල සහ දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතු අතර දේවස්ථාන, පොදු ස්ථාන, රාජ්‍ය ආයතන හා වැඩ බිම් වැනි ස්ථානයන්හි මදුරුවන් බෝ විය හැකි ස්ථාන නොවන සේ කටයුතු කිරීමට වගබලා ගත යුතු බව ද සමරවීර මහතා කීය.