Thursday, 28 March 2024

ළගම පාසල හොදම පාසල ප්‍රධාන කාර්යාලය නව වසරේ නව පරිශ්‍රයකට පිවිසෙයි

Posted On Friday, 04 January 2019 09:51

අධ්‍යාපන අමාත්‍යාංශයේ පස්වැනි මහලේ ස්ථාපනය කර තිබූ ළගම පාසල හොදම පාසල ප්‍රධාන කාර්යාලය එළඹුණු නව වසරේ සිට වඩාත් පුළුල් පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා (01) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.



සියලු සිසු දරුවන්ට එක හා සමාන ගුණාත්මක අධ්‍යාපන පහසුකම් සහ අවස්ථා සාධාරණ ලෙස ලබා දීමේ අරමුණින් මීට පෙර ක්‍රියාත්මක වැඩසටහන්වල අත්දැකීම් ද පදනම් කරගනිමින් හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත පාසල් නගාසිටුවීමට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීමෙන් ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය මගින් සෑම සිසු දරුවකුටම තම නිවසට ළඟම පාසලින් ගුණාත්මක අධ්‍යාපන පහසුකම් යටතේ අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය සහතික කිරීමට පියවර ගෙන තිබේ.

2016 වර්ෂයේ ආරම්භ කර 2020 දී අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පාසල් 9,064 ක් එකවර සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අතර ජාතික පාසල් 282 ක් සහ පළාත් පාසල් 8,782 ක් වේ. මීට අමතරව සියලුම ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද මේ යටතේ සිදු සිදු කෙරේ.

මේ සඳහා රුපියල් මිලියන 64,950ක ආයෝජනය කර ඇති අතර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සංඛ්‍යාව 16,185 කි. මෙය මෙරට ඉතිහාසයේ පාසල් පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් එකවර ක්‍රියාත්මක විශාලතම සංවර්ධන කාර්යයයි.