Saturday, 20 April 2024

‘කොළඹ නාවික අභ්‍යාසය’ ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා පැවැත්වෙයි

Posted On Thursday, 24 January 2019 02:30

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) එළඹෙන ජනවාරි මස 26 වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව ඇත.



තවද, එළඹෙන පෙබරවාරි 04 වන දින පැවැත්විමට නියමිත 71 වන ජාතික නිදහස් දින නාවික හමුදාව විසින් ‘නෞකා අචාරය’ සිදු කිරීමට සුදානම් කර ඇති අතර, ඒහි පෙරහුරුවන්හි සමාරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වශයෙන් ද මෙය හැදින්විය හැක.

එමෙන්ම, මෙම නාවික අභ්‍යාසය වරාය සහ සාගරය වශයෙන් අධියර දෙකක් (02) යටතේ පැවැත්විමට නියමිත අතර, එහිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති ජලයේ යාත්‍රා කිරීම, මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට නියමිතය.

මෙම නාවික අභ්‍යාසයේදි එක් එක් නෞකා සහ යාත්‍රාවන් හැසිරවිමේදි අවශ්‍ය කරන වෘත්තිමය හැකියාව වර්ධනය කිරීම සහ මනා සම්බන්ධතාවයකින් යුතුව සිය නෞකා සහ යාත්‍රා මෙහෙයවමින් නිදහස් දින ‘නෞකා අචාරය’ අලංකාරවත්ව සිදු කිරීමට අපේක්‍ෂා කරන අතර, එහි අභ්‍යාසයන් ජාත්‍යාන්තර නාවික අභ්‍යාසයක මට්ටමින් පැවැත්විමට සියළු කටයුතු සුදානම් කර ඇත.