Wednesday, 22 May 2024

අත්‍යවශ්‍ය දේකට හැර පොදු ප‍්‍රවාහනය භාවිත කරන්න එපා

Posted On Tuesday, 14 July 2020 06:28

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව බිහි වී ඇති කොරෝනා ආසාදිත පොකුරු වැනි තවත් ආසාදිත පොකුරු බිහි වීම වැළැක්වීම සඳහා මහජනතාව තවදුරටත් කාර්යාල, මහාමාර්ග, පොදු ප‍්‍රවාහන සේවා, බස් නැවතුම්පළවල්/දුම්රිය ස්ථාන, පොළවල්, බැංකු, හෝටල්, තැපැල් කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑමේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ යටතේ අදාළ පොදු ස්ථානවල ගැවසීමේදී මුඛය හා නාසය හොඳින් ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් පැළඳීම, එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම, හොඳින් සබන් යොදා දෑත් සේදීම, විෂබීජනාශක දියරයක් මගින් දෑත් පිරිසිදු කර ගැනීම මෙන්ම එම ස්ථානවල ශරීර උෂ්ණත්වය මනින්නේනම් එය මගනොහැර එම පරීක්ෂාවට සහාය දීම යන පිළිවෙත් මෙම දිනවල අනිවාර්යයෙන් අනුගමනය කිරීමෙන් ප‍්‍රජාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.

කොරෝනා ආසාදිත පොකුරක ස්වභාවය කිව නොහැකි නිසා මෙම අවස්ථාවේ මහජනතාවට මෙම වෛරසය ප‍්‍රජාව තුළ පැතිරීම වැළක්වීම සඳහා කළ හැකි එකම දෙය මෙම සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් තම කටයුතු සිදු කිරීම බවත් පොදු ප‍්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් භාවිත කිරීම යෝග්‍ය බවත් හෙතෙම අවධාරණය කළා.

මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙනුයේ බස් රථ හා දුම්රියවල, රෝහල් ඇතුළු වැඩි දෙනෙකු ගැවසෙන ස්ථාන ආශ‍්‍රිතව කොරෝනා ආසාදිත පොකුරු ඇති වීම වැළක්වීම සඳහා හැකිතාක් පවතින තදබදය අවම කරගත යුතු බවයි.