Tuesday, 21 May 2024

ශිෂ්‍ය නවක වධයට දේශපාලන පක්ෂ හා තාක්ෂණයේ සහාය

Posted On Friday, 17 July 2020 02:07

 

සිවිල් සමාජය, ජන මාධ්‍ය සහ රජයේ සහාය රහිතව විශ්ව විද්‍යාල නවක වදයට එරෙහිව සටන් කරන්නට හෝ තුරන්න කරන්නට නොහැකි බව විශ්ව විද්‍යාල උපකුලපති හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දී ඉකුත් 04 වැනිදා පැවැති හමුව සම්බන්ධයෙන් ජුලි 14 වැනිදා දාතමින් නිවේදනයක් නිකුත් කරන එම කමිටුව විශ්ව විද්‍යාලයන් හි පවතින නවක වදය තුරන් කිරීමට ගත් උත්සාහය ඉදිරියේ නොයෙක් ගැටළු පැන නැගී ඇති බව ද කියා තිබේ.

1988 දී පනවන ලද නීති ප‍්‍රමාණවත් නැති බව එහි සදහන්ය. සිද්ධි සම්බන්ධයෙන් සාක්ෂි හෝ හදුනාගත අවස්ථා සීමිතවීම නිත්‍යානුකූල පියවර සදහා බාධාවක් වී ඇත. නීතිය හා විනය කි‍්‍රයාත්මකවීමේ දී පවතින ප‍්‍රමාද හිංසනයෙන් තොර වාතාවරණයක් විශ්ව විද්‍යාලයේ තහවුරු කිරීමට අසමත්වන තවත් හේතුවක් බව එහි දැක්වෙයි. මෙහි දී විශ්ව විද්‍යාල කළමණාකරනය සමහර අවස්ථාවල අසතුටට පත්වන අතර සිද්ධිවලට එරෙහිව ක‍්‍රියා කිරීමේ දී මානව හිමිකම් හෝ නීතියේ රැකවරණය අහිමිවීම ගැන ද මෙහි දී පෙන්වා දී තිබේ.

දේශපාලන මුහුණුවරක් ගැනීම, තාක්ෂණය භාවිතා කිරීම හා ශිෂ්‍ය කණ්ඩායම්වල සංවිධානාත්මක මුහුණුවර විශ්ව විද්‍යාල නවක වධ සිද්ධි ඉතා සංකීර්ණ පැත්තකට යොමු කර ඇත. සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුලත්වීමට පෙර සිට ඉතා සූක්ෂමව නවක වධය සැලසුම් කරන බවට තොරතුරු ඇති බව ද විහ්ව විද්‍යාල උපකුලපතිවරු හා අධ්‍යක්ෂ කමිටුව නිකුත් කළ නිවේදනයෙහි තව දුරටත් දක්වා ඇත.