Tuesday, 07 May 2024

නිවාස 608 කින් යුත් බොරැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වැනිදා විවෘත කෙරේ

Posted On Saturday, 03 October 2020 16:59

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.

 

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වසර 1 1/2 ක පමණ ප්‍රමාදයක් මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමේ දී සිදු වූ අතර අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව පසුගිය දිනවල ඉදිකිරීමේ කටයුතු කඩිනම් කර මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළේය.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කළේ වර්තමාන ජනාධිපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුවය. 2015 වසරේ දී මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු නතර කෙරුණු අතර නැවත මෙහි ඉදිකිරීම් කටයුතු 2016 වසරේ මැද භාගයේ දී ආරම්භ කෙරිණි.

පෙර විකුණුම් පදනම මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608 ම මේ වන විට විකිණී අවසන්වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ වැ.බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි. සමස්ථ ව්‍යාපෘතිය සඳහා මූලික ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 5500 ක් විය. නිදන කාමර 3 කින් සමන්විත නිවාස 304 කින් සහ නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කින් මෙම මහල් නිවාස සංකීර්ණය සමන්විතයි.

මෙහි එක් නිවාස වර්ගයක් වර්ග අඩි 680 ක් වන අතර අනෙක් නිවාස වර්ගය වර්ග අඩි 880 ක් වේ. අංග සම්පූර්ණ මෙම මහල් නිවාස සංකීර්ණය තට්ටු 25 කින් සමන්විතයි.

රථ ගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායම් මධ්‍යස්ථාන 2 ක්, වෙළෙඳ සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් මෙය සමන්විත වේ. වනාතමුල්ලේ පිහිටි පී. සරණමුත්තු ක්‍රීඩාංගනය (ඕවල්) අසලම මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත.

වසර 15 ක් වසර 20 ක් රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන් සහ සේවකයින් මෙම නිවාස මිලදී ගෙන ඇති බවත් ඔවුන් සහන ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් ද සමඟින් මෙම නිවාස ලබා ගෙන තිබෙන බවත් වැ.බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා සහ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මහල් නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු අවසන් කර ඇත.

නාගරික නිවාස ප්‍රශ්නය මේ වන විට ශ්‍රී ලංකාවේ මූලික ගැටළුවක් බවට පත්ව ඇති අතර කොළඹ හා තදාසන්න නගරයන්හි පවතින ඉඩම් හිඟය, අධික මිල හමුවේ මෙය තවදුරටත් ගැටළු සහගත වී ඇත.

නමුත් රාජ්‍ය හා පෞද්ගලික යන අංශයන්හි රැකියා අවස්ථාවන් මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රය ද විසිරී ඇත්තේ කොළඹ හා එය කේන්ද්‍ර කරගත් තදාසන්න නාගරික ප්‍රදේශයන්හිය. ශ්‍රී ලංකාවේ දළ
දේශිය නිෂ්පාදනය පිළිබඳව සළකා බලන විට මෙය වඩාත් විද්‍යාමාන වේ.

ඒ අනුව, කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශයන්හි පවතින අධික නිවාස ඉල්ලුම හා සීමිත භූමි පරිහරණ රටාව තුළ මෙම ඉල්ලීමට අනුව නිවාස සැපයීම ගැටළු සහගත වී ඇත. ඒ අනුව පැහැදිලි වනුයේ අධික දුර බැහැර ප්‍රදේශයන්හි සිට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම පිරිස් නාගරික ප්‍රදේශ කරා දෛනිකව පැමිණෙන බවකි.

කෙසේ වුවද, මෙම තත්ත්වය පැහැදිලිව හදුනාගත් නාගරික සංවර්ධන අධිකාරිය එහි මූලික පියවරක් ලෙස කොළඹ නාගරික බල ප්‍රදේහයන්හි අවිධිමත් ජනාවාස පුනස්ථාපනය කර එම ජනතාව වෙත අංග සම්පූර්ණ මහල් නිවාස ලබා දීමේ වැඩසටහන 2010 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එමගින් ඌන උපයෝගී ඉඩම් ප්‍රශස්ත නාගරික සංවර්ධනය සඳහා භාවිතා කිරීම අපේක්ෂිත විය.

එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් වත්මන් ජනාධිපති එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩ පිළිවෙල ආරම්භ කරන ලදී.

එම නිවාස වැඩසටහනේම දිගුවක් ලෙස මධ්‍යම ප්‍රාන්තික ජනතාව වෙත දැරිය හැකි මිලකට කොළඹ හා තදාසන්න නගරයන්හි මෙන්ම රටෙහි අනෙකුත් නාගරික බල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා පදනම සකස් කෙරුණු අතර රටෙහි සමස්ථ භූ දර්ශන රටාව වෙනස් කර ආයෝජන ආකර්ෂණය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නාගරික මධ්‍යස්ථාන ඇති කිරීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ආරම්භ විය.

එහි මූලාරම්භක ව්‍යාපෘතිය ලෙස බොරැල්ල රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතිය සඳහා පදනම සකස් වූ අතර 2014 ඔක්තෝබර් මස 30 වන දින වර්තමාන ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් එහි සමාරම්භය සනිටුහන් විය. එහෙත් රාජ්‍ය යාන්ත්‍රණයේ සිදු වූ වෙනස්කම් සමඟ 2016 වර්ෂයේ නැවත වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අද වන විට මල්ඵල දරා එහි උත්කර්ෂවත් අවසාන අදියරට පැමිණ ඇත.

රාජ්‍ය අංශය සඳහා වසර 15 ට අධික කාලයක් තම සේවා දායකත්වය සැපයූ රාජ්‍ය සේවකයන් හට මෙහි නිවාස ලබා ගැනීම සඳහා අවස්ථාව හිමි විය. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 3 කට ආසන්න භූමි භාගයක් තුළ ඉදිකර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 25 කින් යුක්ත වන අතර නිවාස ඒකක 608 කින් සමන්විත වනුයේ නිදන කාමර 02 ක නිවාස ඒකක 304 ක් හා නිදන කාමර 03 ක නිවාස ඒකක 304 ක් වශයෙනි. මෙහි ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කර ඇත.

 

ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම අනුව මෙම වැඩ පිළිවෙල තවදුරටත් ශක්තිමත්ව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර ඇත. එම රාජ්‍ය මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ හා තදාසන්න නගරයන්හි හා රටේ හඳුනාගත් නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි වසර 05 ක කාල සීමාව තුළ තවත් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමේ වැඩසටහනට මේ වන විට පියවර තබා ඇත.