Thursday, 02 May 2024

දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක්

Posted On Friday, 04 December 2020 14:48

දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක්

 

සියලු කෘෂිකාර්මික තොරතුරු ඇතුළත් දිවයිනම ආවරණය වන කේන්ද්‍රගත තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙහි ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

කෘෂිකර්මාන්තයට අදාළ සියළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු මීට ඇතුළත් වෙයි. හම්බන්තොට හා වව්නියාව යන දිස්ත්‍රික්කවල තොරතුරු ඒකරාශී කිරීම මේ වනවිටත් අවසන් අතර
දිස්ත්‍රික්ක කීපයක එම කටයුතු මේ වන විට සිදුවන බව අදාළ නිලධාරීන් මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයාට දැනුම් දුන්නේ ය. යාවත්කාලීන මෙන්ම සත්‍ය තොරතුරු පමණක් යන වගකීම ප්‍රමුඛ
කොට මෙම තොරතුරු පද්ධතිය සකස් විය යුතු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේය.

· වගාකෙරෙන ඉඩම් මොනවාද

· කුමන වගාවන් ඒ ඒ කාලයතුළ සිදුවන්නේද

· එක් කන්නයක දිවයින පුරා වගා කොට ඇති බෝග සහ ප්‍රමාණයන් මොනවාද

· බෝග වගාකිරීමේ දී තෝරාගත යුතු ක්‍රමවේද

· කෘෂි තාක්ෂණික දැනුම

· වගාකිරීම් අනුව නිෂ්පාදනය, අලෙවිය, මිල

· දිවයින පුරා ක්‍රියාත්මක කෘෂිකාර්මික ව්‍යාපෘති මොනවාද

යන කාරණා ඇතුළු සියලු කෘෂිකාර්මික තොරතුරු එකම තොරතුරු පද්ධතියකින් ආවරණය කිරීම මෙම නව කේන්ද්‍රගත කෘෂිකාර්මික තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීමේ අරමුණයි. ලෝකයේ බොහෝ දියුණු රටවල මේ ආකාරයේ වූ පද්ධති ක්‍රියාත්මක අතර මෙරට තුළ එවැනි අංග සම්පූර්ණ පද්ධතියක් සකස් කෙරෙන්නේ පළමු වතාවටයි. කෘෂිකර්මයට අදාළ සියළු ආයතන සතුව වෙන්වෙන්ව ඇති තොරතුරු මෙම කේන්දුගත තොරතුරු පද්ධතියට එක්කොට ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුනි. පොහොර බෙදාහැරීම, භාවිතය, පොහොර යෙදවිය යුතු ආකාරය ආදී සියළු තොරතුරු ද නව කෘෂිකාර්මික තොරතුරු පද්ධතියට එක්කරන ලෙසයි මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියේ ය. එසේම කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාල රාජ්‍ය අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක සියලු තොරතුරු ද මෙම කේන්ද්‍රගත තොරතුරු පද්ධතියට එක්කරනු ලබයි

මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේද පෙරේරා මහතා කියා සිටියේ දැනටමත් පද්ධතිය සකස් කිරීමේ සැලකිය යුතු කොටසක් අවසන්
බවය.

ඕනෑම අවස්ථාවක, ඕනෑම තැනක සිට, දිවයිනේ ඕනෑම ගොවිමහතකුගේ, ගොවිපලක, තොරතුරු මෙන්ම ඒ ඒ දේශගුණික තත්ත්වයන් තුළ වගාකෙරෙන බෝගවල තොරතුරු දක්වා බිම් මට්ටමට මෙම කේන්ද්‍රගත තොරතුරු පද්ධතිය සකස් විය යුතු බව මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ ය.ක්ෂේත්‍රයට අදාළ ප්‍රවීනයන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම විද්‍යාර්තින්ගේ ද සහාය මේ සඳහා ලබාගන්නා ලෙසත් ඔවුන් බොහෝමයක් නොමිලේ මේ සඳහා සහාය දීමට තමන්ට කැමැත්ත පළකළ බවත් අමාත්‍යවරයා මෙහදී පෙන්වා දුන්නේ ය. දිවයිනපුරා වගා කෙරෙන විවිධ බෝගවර්ග සඳහා පාලන මිලක් මෙන්ම සාධාරණ මිලක් ගොවි ජනතාවට ලබාදීමටත් පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමටත් මෙම යාවත්කාලීන තොරතුරු පද්ධතිය ඉතා වැදගත්වනු ඇතිබව පැවසූ අමාත්‍යවරයා, එළඹෙන මාර්තු මාසය වන විට සියළු දත්ත ගබඩාකොට මෙහි වැඩ අවසන් කරන ලෙස දැනුම් දුන්නේ ය. වී වැනි ප්‍රධාන භෝගවලට සීමානොවී එළවළු ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කෘෂිකාර්මික වගාවන්වල නිරත ගොවි ජනතාව පිළිබඳ තොරතුරු ද මීට ඇතුළත් විය යුතු බවත් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් ඔවුන් යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන කෘෂි නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ගම් මට්ටමින් සිටින නිලධාරීන් සම්බන්ධ කරගෙන 100% ක් නිවැරදි යාවත්කාලීන තොරතරු මෙම පද්ධතියට එක්කළ යුතු බවයි අමාත්‍යවරයා එම නිලධාරීන්ට අවධාරණය කළේ ය.