Saturday, 27 April 2024

කොවිඩ් 19 රෝගය සහ දියවැඩියාව අතර සම්බන්ධයක් පවතිනවා- විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක

Posted On Thursday, 20 January 2022 09:08

කොවිඩ් 19 රෝගය සහ දියවැඩියාව අතර සම්බන්ධයක් පවතිනවා- විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක

 

කොවිඩ් 19 රෝගය සහ දියවැඩියාව අතර සම්බන්ධයක් තිබෙන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ උපසභාපති මෙන්ම කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති කොවිඩ් පිළිබඳ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.

කොවිඩ් හේතුවෙන් මෙරට මියගිය ජනගහණයෙන් අඩකටත් වඩා එනම් 52%කට අධික සංඛ්‍යාවක් දියවැඩියා රෝගීන් බව හෙළිවී ඇතැයිද, කොවිඩ් වැළදුණු දියවැඩියා රෝගීන්ට සහ අනෙකුත් බෝ නොවන රෝග පවතින රෝගීන්ට මියයෑමට ඇති ප්‍රවණතාවය කුමන හෝ රෝගයක් නොමැති වයස අඩු කෙනෙකුට ඇති ප්‍රවණතාවයට සාපේක්ෂව ඇතැම්විට දස ගුණයකින් පමණ වැඩි යැයිද, විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

අනෙකුත් රටවල සංඛ්‍යාලේඛණ දෙස බැලීමේදී 60ට වැඩි වයස් කාණ්ඩයේ මියගිය අය අතර 84%ක්ම දියවැඩියාව සහ අනෙකුත් බෝ නොවන රෝගීන් බවද, එමනිසා මෙරටද දියවැඩියාව, අධික රුධිර පීඩනය හෘදයාබාධ වැනි අනෙකුත් බෝ නොවන රෝග ඇති අයටද ප්‍රමුඛතාවය ලබාදී එන්නත්කරණය සිදුකළ බවද ඔහු පැවසුවේය.

දැන් ඇති තත්ත්වය අනූව තවමත් අවධානම පහව ගොස් නැතැයිද, වර්තමානයේ හමුවන රෝගීන් ප්‍රමාණය සහ මිය යන ප්‍රමාණය අඩු වුවද තවමත් දියවැඩියා රෝගීන්ට කොවිඩ් හේතුවෙන් මියයාමේ ප්‍රවණතාවයක් ඇතැයිද වෛද්‍යවරයා කියා සිටියේය.

මෙම වෛරසය දියවැඩියා රෝගීන්ගේ ශරීරයට ශ්වසන මාර්ගයෙන් ඇතුළු වූ පසු ඔවුන්ගේ අග්න්‍යාශය, හෘදය ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියන් වලට වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයට සාපේක්ෂව වැඩි වේගයෙන් ඇතුළු වන බවත්, එම නිසා එම රෝගයෙන් ඇතිවිය හැකි සංකූලතා වැඩිපුර ඇතිවන බවද, ඒ හේතුවෙන් ඔවුන්ට සාමාන්‍යයෙන් එන ශ්වසන සංකූලතා වලට අමතරව හදිසියේ ඇති වන හෘදයාබාධ, අංශභාග වැනි තත්ත්ව හේතුවෙන් ඇතැම්විට ඔවුන් මිය යා හැකි බවද ඔහු පැවසුවේය.

නවතම සංඛ්‍යාලේඛණ අනූව පසු කොවිඩ් තත්ත්වයන් පිළිබඳව විමර්ශනයේ දී අඩු වයස් කාණ්ඩවල පසුවන්නන්ට ද කොවිඩ් වැළදී මාස කිහිපයකට පසු දියවැඩියාව වැළදිය හැකි බවද, චීනය, ඇමරිකාව, එංගලන්තය වැනි රට වල දහස් සංඛ්‍යාත කොවිඩ් රෝගීන්ගේ දත්ත විශ්ලේෂණයෙන් කොවිඩ් රෝගය වැළදුණු අවස්ථාවේ දියවැඩියාව නොතිබුණු කෙනෙකුට රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවුවහොත් එම රෝගයෙන් මියයාමේ අවධානම 25%කින් ඉහළ බව සොයාගෙන ඇතැයිද සඳහන් කළේය.

මෙම වෛරසය මගින් අග්න්‍යාශයේ බීටා සෛල වලට ඇතුළු වී ඒවා අක්‍රීය කරන ප්‍රවණතාවයක් ඇතැයිද, ඊට අමතරව මෙම වෛරසය අක්මාවට ඇතුළු වී අක්මාවේ වැඩිපුර ග්ලූකෝස් සෑදීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයිද, ඉන්සියුලීන් ප්‍රතිරෝධයක් ශරීරයේ ඇති කරන බවද මෙම හේතු නිසා පසු කොවිඩ් තත්ත්වවලදී අඩු වයස් කාණ්ඩවල අය අතර පවා දියවැඩියාව ඇතිවිය හැකි බවද ඔහු කියා සිටියේය.