Tuesday, 07 May 2024

සැවොම එක්වෙමු: ඩෙංගු උවදුර ජය ගනිමු !

Posted On Friday, 28 January 2022 09:16

සැවොම එක්වෙමු: ඩෙංගු උවදුර ජය ගනිමු !

 

මේ වසරේ ජනවාරි මස මේ දක්වා ඩෙංගු රෝගීන් 6923 ක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වී තිබේ.

2021 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,925 කි. එම වසරේ දෙසැම්බර් මස රෝගීන් සංඛ්‍යාව 8966 කි. මේ අනුව බලන විට ජනවාරි මස ඩෙංගු රෝගීන් සංඛාව ඉතා ඉහළ මට්ටමක පවතී. රෝගීන්ගෙන් 53.4% ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අවදානම් මට්ටමකට ළඟා වී ඇති බැවින් සියලු ආයතනවල සක්‍රීය දායකත්වයෙන් ඩෙංගු රෝගය මර්දනය කිරීමට සාර්ථක ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව (27) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය මේ තොරතුරු සඳහන් කළාය.

මහනුවර, ගාල්ල, මාතර, යාපනය,මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල,බදුල්ල, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසවලින්ද ඩෙංගු රෝගීන් වැඩි පුර වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන් වයස් ඛාණ්ඩ වශයෙන් ගත්විට 30% ක් අවුරුදු 05 – 19 ත් අතර පාසැල් ළමයි වෙති. වයස අවුරුදු 05 ට අඩු ළමුන්ගෙන් 5% ක් ද ඩෙංගු උවදුරට ගොදුරුව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත. මේ තත්ත්වය දිගින් දිගට පැවතුණොත් 2017 වසරේදී මෙන් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ,
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර අර්නෝල්ඩ් මහතා පැවසීය.

ඩෙංගු රෝගය මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සිදු කළ නොහැකි බවත්, සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ පොදු මහජනතාව ඒකාබද්ධව ඩෙංගු රෝග පාලනයට ප්‍රවේශයක් ගත යුතු බව මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
ජනවාරි මස 12 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ චක්‍රලේඛයක් මගින් අපේ රටේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතු ප්‍රවේශය පැහැදිළි කර ඇති බවත්, ඒ අනුව සියලු රාජ්‍ය, පෞද්ගලික සහ පොදු ආයතනවල ඩෙංගු උවදුරෙන් තොර පරිසරයක් ඇති කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති ඉදිකිරීම් පරිශ්‍ර, පාසල්, ආගමික ස්ථාන, ඇතුළු පොදු ස්ථානවල රෝග ව්‍යාප්තිය වර්ධනය වී ඇත. සෑම ආයතනයකම ඩෙංගු රෝග පාලනයට වෙනම නිලධාරියෙකු පත් කළ යුතු අතර ඔහු සෑම මසකම තම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත ඩෙංගු රෝග ව්‍යාප්තියට වාර්තාවක් දිය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා කීය.

ලෝකයේ රටවල් 129 ක් පමණ ඩෙංගු රෝගයෙන් පීඩා විඳී. ඉන් 70% ක් ආසියානු කලාපීය රටවල්ය. ජනවාරි මාසය තුළ හඳුනා ගත් රෝගීන්ගේ 50% ක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. 2021 ජනවාරි මස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 408 ක් වුවද 2022 ජනවාරි මස 3681 ක් පමණ රෝගීන් වාර්තා වී තිබේ. බස්නාහිර පළාතේ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ ප්‍රජා වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසියම් ඉලක්කයක් කරා ළඟා වීම එම ක්ෂේත්‍රයට තනිව කළ නොහැකිය. ඒ සඳහා සියලු අංශවල සක්‍රීය දායකත්වය ලබා ගත යුතුය. පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශිය හා ග්‍රාමීය වශයෙන් කමිටු පිහිටුවමින් සියලු අංශවල සක්‍රීය දායකත්වය මේ සඳහා අවශ්‍ය බවත් වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය. වැඩි වශයෙන් මහජනතාව ගැවසෙන ආගමික ස්ථාන ඩෙංගු අවදානම සහිත ප්‍රදේශ ලෙස කීට විද්‍යා සමීක්ෂණය මගින් සනාථ වී ඇත. ආගමික ස්ථාන සතියකට වරක් තම පරිශ්‍ර නිරීක්ෂණය කළ යුතුය. මේ පිළිබඳව දැනුවත් කිරීමේ සැසිවාර පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් වෛද්‍යවරයා කීය. ඒ අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනවාරි මස 18 ,මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේනතුවේ ජනවාරි මස 20 මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විණ. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ජනවාරි මස 31 සහ හින්දු ආගමික දෙපාර්තමේන්තුවේ පෙබරවාරි මස 01 දින සැසිවාර පැවැත්වෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.