Monday, 29 April 2024

කර්මාන්ත නවෝදයේ පෙර දැක්ම සනිටුහන් කරමින් ‘’කර්මාන්ත ප්‍රදර්ශනය -2022 ‘’ කොළඹ දී

Posted On Friday, 04 February 2022 11:27

කර්මාන්ත නවෝදයේ පෙර දැක්ම සනිටුහන් කරමින් ‘’කර්මාන්ත ප්‍රදර්ශනය -2022 ‘’ කොළඹ දී


කර්මාන්ත නවෝදයේ පෙර දැක්ම සනිටුහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ‘’කර්මාන්ත ප්‍රදර්ශනය -2022 ‘’ පෙබරවාරි 03 සිට 06 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී , කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීණි.

එහිදී කර්මාන්ත ප්‍රදර්ශනය සහ කර්මාන්ත අමාත්‍යංශයේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ සහ ලංකා මහතා පැවසුවේ, කොවිඩ් -19 වසංගත තත්ත්වයත් සමග 2020 සහ 2021 යන කාල වකවානුව රටට, රටේ ආර්ථිකයට සහ රටේ ජනතාවට හොඳ කාලවකවානුවක් නොවුනු බවයි.

විශේෂයෙන්ම කර්මාන්තකරුවන්ට රටේ ඇතිවුන තත්ත්වයන් හොඳ ප්‍රවණතාවයන් නොවු බව පැවසූ අතිරේක ලේකම්තුමා, මේ කොවිඩ් -19 වසංගත තත්ත්වයේ බලපෑම රජය සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා , ලේකම්තුමා ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශයත් , කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි අනුබද්ධිත ආයතනත් එකතු වී දේශිය කර්මාන්තකරුවන් නගාසිටුවීමට සහ ඔවුන් ශක්තිමත් කිරීමට යම්යම් ප්‍රතිපත්ති තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව කීය.

රජය ඇතැම් ආනයනයන් සීමා කිරීමට කටයුතු කළ බව කී අතිරේක ලේකම්තුමා අප රටට වාහන ගෙන්වීමට සහ ඇතැම් අත්‍යාවශ්‍ය නොවන ද්‍රවය ගෙන්වීම සීමා කිරීමටත් ලෝහ ආශ්‍රිත ද්‍රවය අපනයනය කිරීම තහනම් කිරීමත් ගත් ප්‍රතිපත්ති තීරණ සහ ක්‍රියා මාර්ග හේතුවෙන් රට තුළ දේශිය කර්මාන්තකරුවාගේ විශාල පිබිදීමක් සහ දියුණුවක් ඇතිවු බවද කීය.

වාහන එකලස් කීරීමේ කර්මාන්තය,වාහන උපාංග නිපදවීමේ කර්මාන්තය යන කර්මාන්තයන් වල විශේෂයෙන් දියුණුවක් ඇතිවු බව උදාහරණයක් ලෙස පෙන්වා දුන් ඒ මහතා 2021 වර්ෂයේ මාර්තු මස වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් සම්මත වූ මෙහෙයුම් ක්‍රියා මාර්ග පටිපාටියත් සමගම දැනට වාහන එකලස් කරන ආයතනවලට අමතරව තවත් වාහන එකලස් කරන ආයතන 12 පමණ අලුතින් ඇති වූ බව පෙන්වා දුන්නේය.

වාහන එකලස් කරන කර්මාන්තය අවශ්‍ය උපාංග රටතුළ නිපදවීමට දේශිය කර්මාන්තකරුවන් මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා තිබෙන බවත් එසේම විදුලි උපකරණ නිපදවීම රටතුල විශාල වශයෙන් වර්ධන වී තිබෙන බවත් දේශිය අමුද්‍රව්‍ය වලට අගය එකතු කිරීමේ කර්මාන්ත අපනයන ඉලක්ක කරගත් කර්මාන්තවලට දේශිය ව්‍යවසායකයින් එම ක්ෂේත්‍රවලට වැඩි නැඹුරුවකින් කටයුතු සිදු කරමින් පවති.රටේන බවත් එ මහතා පෙන්වා දුන්නේය. දේශිය කර්මාන්තවලට ඇතිව තිබෙන මේ නව මුහුණුවර නව දැක්ම රටේ සියලු දෙනාට ප්‍රදර්ශනය කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීම සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතාගේ මග පෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශයත් කාර්මික සංවර්ධන මණ්ඩලයත් මූලිකත්වයගෙන කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

රටේ කර්මාන්තවලට අවශ්‍ය කාර්මික මෙවලම් නිපදවීමට කාර්මික සංවර්ධන මණ්ඩලයට මෙන්ම රට කාර්මිකරණය සඳහා රැගෙන යාමේ මූලික වගකීම ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයට වේ. මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ වගකීම කාර්මික සංවර්ධන මණ්ඩලය භාර ගත් බවද එ මහතා පෙන්වා දුන්නේය.

මෙම කර්මාන්ත ප්‍රදර්ශනය වෙළෙඳ ප්‍රදර්ශනයක් නොවන බවත් නිෂ්පාදන අළෙවිය මෙ ප්‍රදර්ශනය තුළ තියෙනවා නමුත් මෙම නිෂ්පාදන අළෙවි කිරිම මෙම ප්‍රදර්ශනයේ අරමුණ මෙ නොවන බවත් පැහැදිළි කළ ඒ මහතා දේශිය කර්මාන්තකරුවාගේ පිබිඳිම සහ ඔවුන්ගේ හැකියාවන් කුමන ආකාරයේ ඇත්ද යන්න රටේ ප්‍රතිපත්ති සම්පාදකටයින්ට,නිලධාරීන්ට,කර්මාන්තකරුවන්ට,නව නිපැයුම් කරුවන්ට .ආයෝජකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයට ඇතුලත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට,රැකියා අපේක්ෂකයින්,පාසැල් දරුවන් යන සියලු පාර්ශ්ව අරමුණු කරගෙන මෙම කර්මාන්ත ප්‍රදර්ශනයේදි දේශිය කර්මාන්තකරුවාගේ හැකියාව සහ රටේ කර්මාන්තකරුවාගේ ඉදිරි දැක්ම ඉදිරි ප්‍රගමනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න මෙයින් පිළිබිඹු කිරීමට බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා කියා සිටී.

නව නිපැයුම්කරුවන්ට මෙම ප්‍රදර්ශනයට පැමිණ දැනට කර්මාන්ත පවත්වාගෙන යනු ලබන කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කොට සිය නව නිපැයුම් කර්මාන්ත සඳහා යොදා ගත හැකි ආකාරය පිළීබඳව දැනුවත් වීමට හැකි බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

නවආයෝජකයින් සිටී නම් මෙම ප්‍රදර්ශයේදී අනෙකුත් කණ්ඩායම් හමුවී තමන්ගේ භාණ්ඩවලට වෙළෙඳ සබඳතාව පවත්වා ගන්නේ කෙසේද යන්න පිළීබඳව දැනුවත් විය හැකි බවද තමන්ට විශාල අවස්ථා රාශියක් මෙම ප්‍රදර්ශනයට පැමිණිමෙන් ලබා ගැනිමට හැකි බවත් ඒ මහතා පැවසීය.

කර්මාන්ත අමාත්‍යංශය සමග සම්බන්ධ නොවූ නව නිපැයුම්කරුවන්ටද මෙය අනර්ඝ අවස්ථාවක් බව පෙන්වා දෙන ලේකම්වරයා අයවැයෙන් මෙම වසරට කර්මාන්ත අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් වී ඇති බවත් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමෙන් කර්මාන්ත ඇති කිරීම රජයේ අපේක්ෂාව වන බවත් කීවේය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මූලීක යටිතල පහසුකම් ඇති කර ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් අක්කර 25 උපරිමයකට යටත්ව කර්මාන්ත පුර ඇති කිරීමට මූලික කටයුතු සම්පාදනය කරඇති බවත් එසේම කර්මාන්තකරුවාගේ මූලික යටිතල පහසුකම් සහිත කුඩා මට්ටමේ කර්මාන්ත පුර 45 පමණ රට පුරා ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට දිවයින පුරා විසිරුනු කර්මාන්ත පුර ජාලයක් ඇති කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසුවේ සුළු පරිමාණ කර්මාන්තකරුවන් රැසක් දිවයින පුරා සිටින බවත් රට පුරා ඔවුන් මෙවැනි ප්‍රදර්ශනවලට ගොස් තමන්ගේ නිෂ්පාදන අළෙවි කරන බවත් එම පිරිසටත් මෙම ප්‍රදර්ශනයේ කොටසක් වෙන් කර ඇති බවත්ය.එම පිරිස් සඳහා ද සකස් කර ඇති කුටි 400න් කුටි 150පමණ වෙන් කර තිබෙන බවත් එදිනෙදා නිවෙස්වලට අවශ්‍ය අප රටේ නිෂ්පාදන ප්‍රදර්ශනය කීමට ඔවුන්ට අවස්ථාව සළසා ඇති බවත් ‍හෙතෙම කියා සිටී. තවද කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන්රාජ්‍ය ආයතන තිබෙන බවත් ඒ අයද ඔවුන්ගේ සේවා විස්තර කිරීමට මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වන බවත් අනෙක් ප්‍රදර්ශන කුටි වෙන් වී ඇත්තේ මේ රටේ දක්ෂතාවන් පෙන්වීමටත් අප මේ රටේ නිෂ්පාදනය කරන්නේ මොනවාද එහි තත්ත්වය සහ ඒවා ජාත්‍යන්තරව පිළිගත හැකි නිෂ්පාදනයන්ද ආදී ගැටළුවලට විසදුම් දිය හැකි ප්‍රදර්ශනයක් බවත් හෙතෙම කියා සිටී.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට එන සියලුම දෙනාට රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය පිළීබඳව අභිමානයක් ඇති වන බවත් මේ රටේ කර්මාන්තකරුවන් විශාල භාණ්ඩ තොගයක් මේ රටේ නිෂ්පාදනය කරන බවත් ඒවා ලෝක මට්ටමේ තිබෙන බවත් මෙය මේ රටේ මෙතෙක් පැවති ප්‍රදර්ශන වලට වඩා වෙනස් ප්‍රදර්ශයක් වන බවත් හෙතෛම කියා සිටී.

අද ලෝකයේ තිබෙන නවීනම තාක්ෂණය ප්‍රදර්ශනයට භාවිත කරන බවත් ප්‍රදර්ශනය නැරඹීමට එන සියලු දෙනාට QR Cord සහිත හැඳුනුම්පතක් නිකුත් කරන අතර ඔවුන් නරඹන ලද කුටි සහ ඔවුන් විස්තර ලබා ගත් කුටි මේ සියලුම දේ දත්ත ගබඩාවට ඇතුළත් වේ. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අවශ්‍ය බැවින් මෙලෙස සිදු කෙරෙන බව හෙතෙම කියා සිටී.

හෙට උදේ 10ට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මෙම ප්‍රදරශනය කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.මෙම ප්‍රදර්ශනය මගින් App එකක් ඉදිරිපත් කර ඇති බවත් නිපුනතා සහිත සේවකයන් ඇති කිරීමටත් රට තුළ සමාජය තුළ රැකියා විරහිත පිරිස් සඳහා නව රැකියා සොයා ගැනීමට මෙම App එක භාවිත කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.