Monday, 29 April 2024

ලෝක පිළිකා දිනය අදයි- ''ගැටලු හඳුනා ගනිමු- සත්කාරයේ හිඩැස පුරවමු..''

Posted On Friday, 04 February 2022 11:31

ලෝක පිළිකා දිනය අදයි- ''ගැටලු හඳුනා ගනිමු- සත්කාරයේ හිඩැස පුරවමු.

 

ලෝක පිළිකා දිනය අදට ( පෙබරවරි 04 ) යෙදී තිබේ.

 

2022 පෙබරවාරි මස 04 වනදාට යෙදී ඇති ලෝක පිළිකා දිනයේ මෙවර තේමාව ''ගැටලු හඳුනා ගනිමු. සත්කාරයේ හිඩැස පුරවමු ''යන්නයි. පිළිකා සත්කාරයේ අඩුලුහුඩුකම් හදුනාගෙන අදාළ පරිදි ඒ සදහා නිසි පියවර ගැනීම මූලික අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන ලෝක පිළිකා දිනය සමරනු ලබන අතර ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර ඇත.

ගෝලීයව පිළිකා සෑදීමේ ප්‍රවනතාවය දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. නවතම ඇස්තමේන්තු වලට අනූව 2020 වසර තුළ ලොව පුරා මිනිසුන් මිලියන 13.9ක් පිළිකා රෝගීන් ලෙස අලුතින් හදුනාගෙන ඇති අතර පිළිකාව නිසා සිදුවූ මරණ ගණන මිලියන 10ක් පමණ වේ.

පිළිකාව පිළිබදව දැනුම වැඩි කිරීමටත්, ඒ සදහා ලබාදෙන සේවාවන්හි අඩුපාඩු මගහරවාගැනීමටත්, පිළිකා උවදුර අවම කිරීමේ වඩාත් ප්‍රායෝගික උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමටත් ඉක්මන් පියවර ගැනීමට කාලය එළඹ ඇත.

සෑම වසරකම පෙබරවාරි 04 ලෝක පිළිකා දිනය ලෙස නම්කර ඇත. මෙමගින් මිනිස් ජීවිත මිලියන ගණනක් රැකගැනීම සදහා දැනුවත් බව වැඩිකිරීම සහ ලබාදෙන සේවාවන්හි හිඩැස් අවම කිරීම වෙනුවෙන් වූ පොදු අරමුණක් සදහා කටයුතු කිරීමට උනන්දු කිරීම අපේක්ෂා කෙරේ.

ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් ප්‍රකාශයට පත්කරන පිළිකා ආවේක්ෂණ දත්ත වාර්තාවට අනූව ශ්‍රී ලංකාව තුළ 2019 වසරේ නව පිළිකා රෝගීන් 31,848ක් හදුනා ගැනුණි. කාන්තාවන් අතර බහුලතම පිළිකාව පියයුරු පිළිකාව වන අතර 2019 වසර තුළ පියයුරු පිළිකා රෝගීන් 4447ක් ශ්‍රී ලංකාව අලුතින් හදුනාගෙන ඇත. මුඛ පිළිකාව පිරිමින් අතර බහුලතම පිළිකාව වන අතර 2019 වසර තුළ පිරිමින් 2173 දෙනෙක් මුඛ පිළිකා රෝගීන් ලෙස හදුනාගෙන ඇත.

පිළිකා රෝගය හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම දුප්පත් පොහොසත් භේදයකින් තොරව කුමන අයුරකින් හෝ පීඩාවට පත්විය හැකිය. එමෙන්ම පිළිකා රෝගය හේතුවෙන් පුද්ගල මට්ටමෙන්, පවුල් මට්ටමෙන් හා ප්‍රජා මට්ටමෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල අවම කිරීම සදහා කටයුතු කිරීමේ හැකියාවක් සියලුදෙනාම සතුව පවතී.

ගැටලු හදුනාගනිමු - සත්කාරයේ හිඩස පුරවමු තේමාවට අනූව මෙම වසරේ ලෝක පිළිකා දිනය සැමරීමේ මූලික අරමුණ වන්නේ පිළිකා සත්කාරයේ අඩු ලුහුඩුකම් හදුනාගෙන අදාල පරිදි ඒ සදහා නිසි පියවර ගැනීමයි.

පිළිකා සත්කාරයේ අඩු ලුහුඩුකම් හදුනාගැනීම සදහා සමීක්ෂණයක් පැවැත්වීම, පිළිකා මර්දනය හා වළක්වාගැනීම සදහා සේවාස්ථ පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ පිළිකා මර්දනය හා වළක්වාගැනීම සදහා ප්‍රාදේශීයව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදී වශයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහන ජාතික පිළිකා දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.