Saturday, 27 April 2024

මාර්ගෝපදේශ නව සංශෝධනයට අනූව කොවිඩ් රෝගියෙකු දින 07ක් නිවසේ රැදී සිටීම ප්‍රමාණවත් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Friday, 11 February 2022 06:22

මාර්ගෝපදේශ නව සංශෝධනයට අනූව කොවිඩ් රෝගියෙකු දින 07ක් නිවසේ රැදී සිටීම ප්‍රමාණවත් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ නව සංශෝධනයට අනූව කොවිඩ් රෝගියෙකු දින 07ක් නිවසේ රැදී සිටීම උපදෙස් ලබාදී ඇති බවද, දින 07න් පසු අදාල පුද්ගලයාට රැකියාවට යාමට හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ , සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවේදී අඳහස් දක්වමිනි.

කොවිඩ් වසංගතය හටගත් මුල් කාලයේ රෝගය කෙතරම් කාලයක් පවතීද යන්න පිළිබද පැහැදිලි අදහසක් නොතිබුණු අතර මීට පෙර නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව දින 14ක කාලයක් රෝගියෙකු අන් අයගෙන් වෙන්වී ප්‍රතිකාර ලබමින් සිටිය යුතු වූ බවද සිහිපත් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහාචාර්ය මලික් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම මේ සම්බන්ධයෙන් නිරන්තර උපදෙස් ලබාදුන් බවත්, දින 10කට වඩා වැඩි කාලසීමාවක් මෙම රෝගය පැතිරීමේ ඉඩකඩ අඩු බවද ඔවුන් පැහැදිලිව සඳහන් කළ බවද කියා සිටියේය.

ඒ අනූව මුල් කාලයේ දින 14ක් දක්වා කාලය සීමා කර පවත්වාගෙන ගිය බවද, ඇතැම්විට දින 14කින් පසු රෝගීන් පී සී ආර් පරීක්ෂණ කිරීමකින් තොරව පවා නිදහස් කළ බවද සිහිපත් කළේය. එලෙස ක්‍රියා කළේ එවකට පැවති දැනුම අනූව බවද, මේ වන විට ක්‍රමානුකූලව එකතු වන දැනුමත් සමග මෙන්ම ලොව පුරා සොයාගෙන ඇති කරුණු අනූවද මෙම ඔමික්‍රෝන් තත්ත්වය අනූව මුල් දින 05කදී ආසාදන කාලසීමාව (Infective Period) අවසන් වන අතර තවත් දින 02ක කාලයක් ගිය පසු රැකියාවට පැමිණිය හැකි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර ඇති බවද කීය.

ඔමික්‍රෝන් රෝගයේ ස්වභාවයත්, මෙරට බහුතරයක් දෙනා එන්නත් ලබාගෙන ඇති තත්ත්වයත් සැලකිල්ලට ගනිමින් අවසානයේ මාර්ගෝපදේශ මෙලෙස සංශෝධනය කර ඇතැයිද, එය හිතුමතේ සිදුනොකළ අතර විද්වත් නිර්දේශ මත පමණක් සිදුකළ බවද අවධාරණය කළේය.

මේ මොහොත වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් සිටිය හැකි බවද, එමෙන්ම ඇගට නොදැනෙන ප්‍රමාණයට එනම් රෝගියෙකු ලෙස නොසිතෙන ප්‍රමාණයට අවම රෝග ලක්ෂණ සහිතව පුද්ගලයන් සිටිය හැකි බවද වෛද්‍යවරයා කියා සිටියේය.

රෝගියෙකු හැටියට හදුනාගත් පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු බවට නොදන්නා පුද්ගලයෙක් බොහෝවිට වෙනත් රෝග ලක්ෂණ නොමැති නම් කොවිඩ් සදහා පරීක්ෂා කරනොගන්නා බැවින් එවැනි තත්ත්වයන් හේතුවෙන් මුඛ ආවරණ පැළදීම මෙන්ම අනෙකුත් සෞඛ්‍ය පුරුදු අනුගමනය වැදගත් බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

''අපි අවට සිටින ඕනෑම පුද්ගලයෙක් ආසාදිතයෙක් වන්නට ඉඩ තියෙනවා. එයින් ආරක්ෂා වීම අවශ්‍යයි. මේ මොහොතේ රෝගියෙකු හැටියට හදුනාගත් පුද්ගලයෙකුට වැඩට පැමිණෙන්න කියලා සදහන් කරලා නැහැ. රෝගායෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස ඉන්නා පුද්ගලයෙක් එන්නත් ලබාගෙන ඇතිනම් ඔවුන්ට වැඩට එන්න කියලා තියෙන්නේ. විද්‍යානුකූලව සොයාගෙන තියෙනවා ඔවුන්ට රෝගය වැළදීමට මෙන්ම රෝගය වැළදුණත් තවත් කෙනෙකුට එය බෝ කිරීමටත් ඇති ඉඩකඩ අඩු බව. මෙය ලොව පුරා ඇති දත්ත මෙන්ම රෝගය පිළිබද එකතු වන දැනුමත් සමග විකාශනය වන වැඩපිළිවෙලක්. ''