Saturday, 11 May 2024

පැවති කොවිඩ් ව්‍යාප්තියට සාපේක්ෂව දැන් කොවිඩ් ව්‍යාප්තිය අඩු වෙලා - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Thursday, 17 March 2022 15:51

පැවති කොවිඩ් ව්‍යාප්තියට සාපේක්ෂව දැන් කොවිඩ් ව්‍යාප්තිය අඩු වෙලා - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


මේ මොහොත වන විට කොවිඩ් වසංගතය 100%ක් පාලනය කර ඇතැයි කිව නොහැකි වුවද, පෙර පැවති කොවිඩ් ව්‍යාප්ති තත්ත්වයට සාපේක්ෂව වත්මන් කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය යම් අඩුවක් ඇති බව කිව හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ,(16) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමිනි.

මේ වන විට කොවිඩ් 19 රෝගීන්ගේ සමස්ථය 650,000 ඉක්මවා ඇතැයිද, 16,000 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. රෝගීන්ගේ වාර්තාවීම දළ වශයෙන් දිනකට 500ට අඩු බවද, දෛනික මරණ වාර්තාවීමද 10ට අඩු සංඛ්‍යාවක් බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

වසංගතයේ ඇති ස්වභාවික හැසිරීම මත රෝගීන් වාර්තාවීම ඉහළ පහළ යා හැකි බවද, පහළ ගොස් නොදැනුවත්වම ඉහළ යා හැකි බවද ඔහු කියා සිටියේය. පවතින තත්ත්වය පිළිබදව 100%ක් සැනසිලිදායක ලෙස සිතිය නොහැකි අතර හොද තත්ත්වයක් ඇතිනම් සෞඛ්‍යාරක්ෂිතව එය ප්‍ර‍යෝජනයට ගැනීම වැදගත් බවද පැවසුවේය.

විශාල සංඛ්‍යාවකට මේ වන විට එන්නත් ලබාදී ඇතැයිද ඒ අනූව තුන්වන මාත්‍රාව ලක්ෂ 76කට පමණ ලබාදී ඇති අතර එය රටේ ඉලක්කගත ජනගහණයෙන් 53%ක් පමණ වන බවද හේමන්ත හේරත් මහතා කියා සිටියේය. මේ දින වල තෙවන මාත්‍රාව ලබාගැනීමට ජනතාව අතර වෙනදාට වඩා උනන්දුවක් ඇතැයිද, තෙවන මාත්‍රාව ලබාදීම මගින් රෝගය පාලනයට යම් පිටිවහලක් වුණු බවට විශ්වාස කරන බවද සදහන් කළේය. බූස්ටර් එන්නත ලබාගැනීමට නියමිත පුද්ගලයන් අප්‍රමාදව ගොස් එය ලබාගන්නා ලෙස ඉල්ලා සිටි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සව සමයේ ජනතාව ඒකරාශී වීමට අවස්ථා සැලසෙන බැවින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසද සඳහන් කළේය.

උත්සවසමයේ අත්‍යවශ්‍ය සාමාජිත කටයුතු කිරීම කිසිදු ලෙසකින් වෙනස් කිරීම අවශ්‍ය නොවන බවද ඒවා සෞඛ්‍යාරක්ෂිතව කිරීම වැදගත් වන අතර සෞඛ්‍යාරක්ෂිත නොවන පරිසර මගහැර කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සාප්පු සංකීර්ණ සහ වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින් වෙළදසැල් තුළ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම වැදගත් බවද අවධාරණය කළේය.