Friday, 19 April 2024

ජනාධිපතිධූරයේ අද දිවුරුම් දෙයි

Posted On Thursday, 21 July 2022 08:22

ජනාධිපතිධූරයේ අද දිවුරුම් දෙයි

 

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් ජයගත් හිටපු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) සුබ මොහොතින් ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

දිවුරුම් දීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පැවැති ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දය ඊයේ (20) පැවැති අතර එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ඡන්ද 134 ලබාගනිමින් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වීමට සුදුසුකම් ලැබීය.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනේ.

මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ අතර ඒකාන්තර බහුතරයකින් විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත් කරගත් බව නිවේදනය කළේ ය.

වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් මෙසේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා (19) පාර්ලිමේන්තුවේදී යෝජනා විය.

ඊට අදාළ ඡන්ද විමසීම (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් හිමිවිය. මෙහිදී අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03 ක් ලැබී තිබුණි. අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තේරී පත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබාගත යුතු වූ අතර එම ඡන්ද සංඛ්‍යාව රනිල් වික්‍රමසිංහ මහතා සපුරා තිබුණි. එනම් වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද 219ක් වූ අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබාගෙන තිබුණි.

මෙහිදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 223 ක් වූ අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මින් ඡන්ද 4ක් ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙස නම් කෙරුණි.

මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජනාධිපතිධූරයේ ඉතිරි ධුර කාලය ධුර දැරීම සඳහා මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුකම් ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය 2021 වර්ෂයේ ජුනි මස 23 දින 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූ අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යධුර හෙබවීය.

1989 මාර්තු 06 - 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.

එතුමා ප්‍රථම වතාවට 1993 මැයි 7 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රමාතයවරයා ලෙස තේරි පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය. වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව පසුගිය මැයි මස 09 දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එම මස 12 වැනිදා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් වී එම ධුරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය (14) දා සිට වැඩබලන ජනාධිපති ධුරයට ද පත්විය.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දී තිබේ.