Tuesday, 23 April 2024

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 11.14% න් අඩුවේ

Posted On Thursday, 04 August 2022 16:02

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 11.14% න් අඩුවේ

 

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 11.14% න් අඩුවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

පසුගිය covid19 වසංගතය උග්‍ර වූ අවස්ථාවේ මෙරට බස්රථ වල මඟීන් ආසන ගණන පමණක් රැගෙන යන ලෙස සෞඛ්‍ය අංශ විසින් පැනවූ සෞඛ්‍ය උපදෙස් හේතුවෙන් 2020 වසරේ නොවැම්බර් 11 වන දින බස් රථ වලට 20%ක් ලෙස බස්ගාස්තු වැඩිවීමක් සිදු කෙරිණි.

එකී කරුණ සහ මෙම මස 01 වන දා සිට ඩීසල් රුපියල් 10 කින් අඩුවීම හේතුකොටගෙන 11.14% කින් බස්ගාස්තු අඩු කිරීමට කටයුතු කර ඇති බව හෙතෙම මෙහි දී ප්‍රකාශ කරන ලදුව මෙම ගාස්තු සශෝධනය වන්නේ සාමාන්‍ය බස්රථ සඳහා පමණක් බවත් අවධාරණය කළේය.

ලංකාව පුරා ධාවනය ලංගම බස්රථ අන්තර් පළාත් බස්රථ, පළාත්බද සහ ගම්බද බස්රථ මෙන්ම නිසිසැරිය හා සිසුසැරිය ද මෑතකදී ඇරඹි පොදු පාසල් බස්රථ සේවාව ද යන බස්රථ වල මෙම ගාස්තු සංශෝධනය වීම් සිදු කෙරෙනු ඇත. ඒ අනුව, ලංගම සහ මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරින් වලටත් සම්බන්ධ සියලු බස්රථ දැනුවත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව, පළමු බස් ගාස්තුව රුපියල් 38 සිට රුපියල් 34 දක්වා සංශෝධනය වෙනු ඇති බව හෙතෙම පැවසීය.