Sunday, 28 April 2024

විදුලි ත්‍රි රෝද රථ හා විදුලි බස් රථ හඳුන්වාදීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පූර්ණ සහයෝගය

Posted On Tuesday, 23 August 2022 07:18

විදුලි ත්‍රි රෝද රථ හා විදුලි බස් රථ හඳුන්වාදීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පූර්ණ සහයෝගය

 

ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් (22) පෙරවරුවේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ත්‍රීරෝද රථ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන අතර එම ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනයට පරිවර්තනය කිරීම තුලින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් හා මගීන්ට පහසු මිලකට ගමන් කිරීමට හැකිවීමද මෙහිදී අවධානයට යොමු විය.

UNDP ආයතනයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන E-Mobility වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ ත්‍රීරෝද රථ 300ක් විදුලි බලයට පරිවර්තනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙයි. සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් UNDP ආයතනය වෙන්කර ඇත. මෙයට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.