Saturday, 27 April 2024

එන්නත්කරණය පරිපූර්ණ කරගැනීම කොවිඩ් පාලනයට ඇති හොඳම විසඳුමයි- වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

Posted On Thursday, 25 August 2022 08:04

එන්නත්කරණය පරිපූර්ණ කරගැනීම කොවිඩ් පාලනයට ඇති හොඳම විසඳුමයි- වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

 

එන්නත්කරණය පරිපූර්ණ කරගැනීම කොවිඩ් පාලනයට ඇති හොඳම විසඳුමයි..20ට වැඩි ඕනම කෙනෙකුට හතරවෙනි මාත්‍රාව ගන්න පුළුවන්.. .

හොඳ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වීමට අමතරව කොවිඩ් පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණය පරිපූර්ණ කරගැනීම බවද, තෙවන මාත්‍රාව ලබාගෙන ඇති වයස අවුරුදු 20ට වැඩි ඕනෑම කෙනෙකුට නිදන්ගත රෝග වලින් නොපෙලුණද තම කැමැත්ත අනූව හතරවෙනි මාත්‍රාව ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තියේ අවදානම සම්බන්ධයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

ඔමික්‍රෝන් වල නව අනුප්‍රභේද පැමිණීමත් සමග කොවිඩ් 19 වැඩිවීමේ නැඹුරුවක් තවමත් පවතින බවද, ජූලි මස අග සිට මෙරට රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බවද කියාසිටි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ දෛනිකව මෙරට රෝගීන් 100 – 150ත් අතර ප්‍රමාණයක්ද දෛනික මරණ 3ක් 4ක් අතර ප්‍රමාණයක් මේ දිනවල වාර්තා වුණු බවයි.

වයස 20ට වැඩි ජනතාව 100%ක් ප්‍රාථමික එනනත්කරණය සම්පූර්ණකර ඇතැයිද දෙවන වර්ධක මාත්‍රාව ලබාදීම සදහා මෙරට 20ට වැඩි ජනගහණය වන මිලියන 14.7ක් ඉලක්ක කරගනිමින් එන්නත් ගෙන්වූ බවද නමුත් තවමත් එය ලබාගෙන ඇත්තේ මිලියන 08ක් පමණක් බවද කියා සිටියේය.

පළමු වර්ධක මාත්‍රාව එනම් තෙවන එන්නත ලැබිය යුතු මිලියන 06ක පමණ පිරිසක් සිටින බවද මොවුන් හේතුවෙන් ඉදිරියේදී අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ ඉඩකඩ පවතින බවද විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන් කළේය.

වර්ධක මාත්‍රා ලබාගත පුද්ගලයින්ට ඒවා ලබා නොගත් අයට සාපේක්ෂව කොවිඩ් රෝගය වැළඳුනත් සංකූලතා ඇතිවීමේ, රෝහල්ගත වීමේ සහ දැඩිසත්කාර ඒකක වලට ඇතුළු වීමේ ඉඩකඩ සාපේක්ෂව අඩුබව පැහැදිලිව පර්යේෂණ දත්ත වලින් පෙන්නුම් කර ඇතැයිද කියා සිටියේය.

දෛනිකව වාර්තා වන මරණ 3,4 සම්බන්ධයෙන් විශ්ලේෂණයේදී අතිබහුතරය එනම් 80%ක් 60ට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝග වලින් පෙළෙන්නන් බවද, එම මරණ අතර තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් කිසිදු එන්නතක් ලබානොගත් පුද්ලගයින් සිටින බවද, තවත් කොටසක් ප්‍රාථමික එන්නත්කරණය එනම් පළමු සහ දෙවන මාත්‍රා පමණක් ලබාගෙන ඇතැයිද ඔහු පැවසුවේය.

නිදන්ගත රෝග පවතින වයෝවෘධ පුද්ගලයින්ට පවා වර්ධක මාත්‍රාවෙන් ආරක්ෂාවක් සැලසෙන බවද 20ට වැඩි සෑම කෙනෙකුම මේ වනතෙක් වර්ධක මාත්‍රාව ලබා‌ගෙන නොමැති නම් හැකි ඉක්මණින් ලබාගන්නා ලෙසද එම පහසුකම් සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම සලසා ඇතැයිද සඳහන් කළේය.

සෑම රෝහලකම එන්නත පවතින බවද එන්නතෙහි කිසිඳු හිඟයක් නැතැයිද මේ වන විට 60ට වැඩි නිදන්ගත රෝග පවතින පුද්ගලයින් සඳහා පළමු වර්ධක මාත්‍රාව ලබාගෙන මාස 03කට පසු දෙවන වර්ධක මාත්‍රාවක් නිර්දේශ කර ඇතැයිද මාත්‍රාව ලබාගෙන ඇති වයස අවුරුදු 20ට වැඩි ඕනෑම කෙනෙකුට නිදන්ගත රෝග වලින් නොපෙලුණද තම කැමැත්ත අනූව හතරවෙනි මාත්‍රාව ලබාගත හැකි බවද සියලුම දෙනා හැකි අප්‍රමාදව එන්නත්කරණය ලබාගන්නා ලෙසද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.