Thursday, 28 March 2024

ලෝක එච්. අයි. වී. දිනය අදයි

Posted On Thursday, 01 December 2022 04:31

ලෝක එච්. අයි. වී. දිනය අදයි

 

 ලෝක එච් අයි වී දිනය අදයි... සමානාත්මතාවය සුරකිමු...

1980 දශකයේ එච් අයි වී ආසාදනය සහ ඒඩ්ස් රෝගය පිළිබද ලෝකයේ සොයා ගැනීමෙන් පසු 1988 වසරේ පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමෙන් ලෝක ඒඩ්ස් දිනය ලෙස සෑම වසරකම දෙසැම්බර් පළමුවෙනිදා නම්කර ඇත.

මෙහි ප්‍රධාන අරමුණ වනුයේ එච් අයි වී ආසාදිතයන් සහ එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දිනාගැනීම සහ එච් අයි වී ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සදහා සියලුම රාජ්‍ය, රාජ්‍ය නොවන සහ අන්තර්ජාතික වශයෙන් සියලුම පාර්ශවකරුවන් එක්තැන් කරගනිමින් ඔවුන්ට සහයෝගය ලබාදීමයි.

සෑම වසරකම ලෝක ඒඩ්ස් දිනය කිසියම් තේමාවක් මුල්කරගෙන සමරනු ලබන අතර මෙම වසරේ එනම් 2022 වසරේ එහි තේමාව වනුයේ සමානාත්මතාවය සුරකිමු යන්නයි.

මින් අදහස් කරන්නේ එච් අයි වී ආසාදිතයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් අධි අවදානම් ඕනෑම කණ්ඩායමකට සමානව සලකමු, ඔවුන්ගේ සමානාත්මතාවය සුරකිමු, රටේ පුද්ගලයින් රජයෙන් ලබන්නාවූ සියලුම ප්‍රතිලාභ සහ සියලුම අවශ්‍යතා එලෙසම ලැබිය යුතුයි යන්නයි.

2022 වසරේ ශ්‍රී ලංකාවේ සමානාත්මතාවය සුරකිමු තේමා පාඨය යටතේ ලෝක ඒඩ්ස් දිනය සමරන අතර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා සංවිධානය කර ඇත.

එච් අයි වී හෝ ලිංගාශ්‍රිත රෝග වලින් පෙලෙන්නන් තවමත් සමාජයේ කොන්වීමට ලක්වෙයි. එමෙන්ම ඔවුන් ප්‍රතිකාර ලබාගැනීමේදී පවා ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් කරුණු පැවසීමට මැළි කමක් දක්වයි. දැනට ලංකාව පුරා ලිංගාශ්‍රිත සායන 42ක් පවතී. එමගින් නොමිලේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව සියලුම සේවාවන් සපයයි. ලිංගාශ්‍රිත රෝග සදහා ප්‍රතිකාර ලබාදෙන සායන වලම සායන 30කින් පමණ එච් අයි වී සදහාද ප්‍රතිකාර ලබාදෙයි. මෙම සායන වලින් ප්‍රතිකාර ලබාගන්නන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාවය පිළිබද කිසිදු තොරතුරක් එළි නොවන අයුරින් රහස්‍යභාවය සුරකිමින් මෙහිදී ප්‍රතිකාර ලබාදෙයි.

එච් අයිවී ආසාදනය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වන්නේ ප්‍රධාන ක්‍රම 03ක් මගිනි. එනම් අනාරක්ෂිත ලිංගික සබදතා, මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම සහ එච් අයි වී රෝගියෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරගතවීම ආදිය මගිනි.

එච් අයි වී වලින් ආරක්ෂා වීමට නම් අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකී ආරක්ෂිත ලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම වැදගත් වෙයි. යම් පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය, ලිංගික හැසිරීම කුමන පැත්තක වුවත් වැදගත්ම වනුයේ ආරක්ෂිත ලිංගික හැසිරීමක යෙදීමයි.

යම් පුද්ගලයෙකුගේ ස්ථිර සහකරුට බාහිරව වෙනත් කුමන හෝ සහකරුවෙකු හෝ සහකාරියක් සමග ලිංගික හැසිරීමක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සදහා කොන්ඩමයක් භාවිතා කිරීම වැදගත් වනුයේ ස්ථිර නොවන සහකරුට තවත් සහකරුවන් සිටිය හැකි බැවින් ඒච් අයි වී හෝ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සෑදීමේ අවදානමක් පවතින බැවිනි.

ඒච් අයි වී ආසාදිතයන්ට මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් අධි අවධානම් කණ්ඩායම් ඒනම් ලිංගික ශ්‍රමිකයන්, දිවී ලිංගික හැසිරීම් සිදුකරන්නන්, සංක්‍රාන්තික සමාජීය කාන්තාවන් ආදීන් හටද කිසිදු වෙනස් කිරීමකින් කොන් කිරීමකින් තොරව මේ සමාජයේ යහපත් ලෙස සියලුම අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත්වීමේ අවස්ථාව ලබාදිය යුතුවෙයි.

එච් අයි වී සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොවන අතරම එච් අයි වී ආසාදිත පුද්ගලයෙකු නිවැරදිව ප්‍රතිකාර ලබාගන්නේ නම් ඔහුට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස මරණය දක්වා ජීවත් වීමේ හැකියාවක් පවතී.

සමානාත්මතාවය සුරකිමු... දැනුම්වත් වෙමු... දුරලමු...එච් අයි වී.

 

සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.