Sunday, 28 April 2024

පළාත් පාලන ආයතන නැවත කැඳවන කෙටුම්පතට විරුද්ධ වන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉල්ලයි

Posted On Thursday, 06 July 2023 17:08


මැතිවරණයක් නොපවත්වා විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන නැවත කැඳවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් හෙළා දැක ඇත.

මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ස්වෛරීභාවයට දැඩි පහරක් වනු ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විශ්වාස කරයි.

‘පළාත් පාලන මන්ත්‍රීවරුන් යනු බිම් මට්ටමේ මහජන නියෝජිතයන්ය. පළාත් පාලන ආයතන තුළ ජනතා වරම පිළිබිඹු කිරීම සඳහා විධිමත් මැතිවරණ අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, ජාතික මැතිවරණ ඇතුළුව නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සඳහා නීතිමය රාමුව අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමක් නිර්මාණය කරන බැවින් මෙම සංශෝධනය නරක පූර්වාදර්ශයක් සපයයි. නීතියේ ආධිපත්‍යය කෙරෙහි ද අයහපත් ඇඟවුම් ඇති කරමින් රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති කර දැමීමට මෙම පියවර හේතු විය හැක. එබැවින් මෙම සංශෝධනය සම්මත කර ගැනීමට දරන ඕනෑම උත්සාහයක් සම්පූර්ණයෙන් පරාජය කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අවධාරණය කරයි.