Saturday, 27 April 2024

ඉදිරි වසර පහ සඳහා ADB ව්‍යාපෘති සඳහා අරමුදල්

Posted On Thursday, 12 October 2023 08:08

ඉදිරි වසර පහ සඳහා ADB ව්‍යාපෘති සඳහා අරමුදල්

 

ඉදිරි වසර 5 සඳහා වන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයින් (11) ඊයේ කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීය.

පසුගිය වසරේ අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉක්මන් ස්ථාවරභාවය පිළිබඳ තෘප්තිමත් බව ප්‍රකාශ කළ ඔවුහු, ඩිජිටල්කරණය සහ තොරතුරු තාක්ෂණ, පොදු ප්‍රවාහනය, මානව සම්පත් සංවර්ධනය සහ අධ්‍යාපනය, ජලය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ යෝජිත නව ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව හිතකර ලෙස ප්‍රතිචාර දක්වන බව ප්‍රකාශ කර ඇත. සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සමාජ ආරක්ෂණ සහය ලබා දීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය ද ඔවුහු අගය කළහ.

පසුගිය දශක කිහිපය තුළ ආසියානු සංවර්ධන බැංකුව සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් සහය වෙනුවෙන් ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකයේ සෑම අංශයකටම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, කෘෂිකාර්මික වර්ධනය සහ රෙගුලාසි ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය සහ පොදු ප්‍රවාහන පද්ධති, විශේෂයෙන් දුම්රිය වැනි ක්ෂේත්‍රවල නව ව්‍යාපෘති ආරම්භ කරන ලෙස ඔහු ප්‍රාදේශීය අරමුදල් නියෝජිතායතනයෙන් ඉල්ලා සිටියේය.