Sunday, 28 April 2024

චීන පර්යේෂණ වැඩසටහනෙන් රුහුණ ඉවත්වෙයි

Posted On Friday, 13 October 2023 17:22

චීන පර්යේෂණ වැඩසටහනෙන් රුහුණ ඉවත්වෙයි

 

Shi Yan 6 පර්යේෂණ නැව කොළඹට පැමිණීම අවදානමක

චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව වන Shi Yan 6 සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සබදතා අත් හැර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව මීට පෙර තහවුරු කළේ Shi Yan 6 නෞකාව ඔක්තෝම්බර් 25 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත් තවමත් මෙම නැවට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අවසරය ලබා දී නැත.

රුහුණු විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව වන Shi Yan 6 ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතව තිබුණ නමුත්, රුහුණු විශ්වවිද්‍යාලය නිවේදනය කළේ ෂි යාන් 6 සමඟ ඒකාබද්ධ පර්යේෂණ කිරීමට එකඟ වූ විශ්වවිද්‍යාලය නියෝජනය කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු විදේශගත වී ඇති බවත්, අනෙක් කථිකාචාර්යවරයා මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දිස්නා රත්නසේකර මහත්මිය මාධ්‍යෙවත ප්‍රකාශ කර ඇත. චීනය සමඟ සාගර පරිසර පද්ධතිය සහ සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහයෝගිතා හසුරුවන විශ්ව විද්‍යාලය චීන රජය සමඟ කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බව මහාචාර්යවරිය දක්වන නමුත් ඔවුන් 2019 දී ශ්‍රී ලංකාවට පැමිණි Shi Yan 3 සමඟ පර්යේෂණ සහයෝගීතාවයක් සිදු කිරීමෙන් පසුව මෙම සහයෝගීතාව තවදුරටත් කරගෙන යන්නට අවශ්‍ය ගිවිසුම් අත්සන් කර ඇති බව චිනය ප්‍රකාශ කර තිබේ.

විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු අත්සන් කළ පුද්ගලයන් නොමැතිවීම පර්යේෂණ කටයුතුවලට බාධා වන හේතුවක් නොවන බව මැදහත් විචාරකයෝ දක්වති. ශ්‍රී ලංකාව වෙත ගමන් ආරම්භ කර තිබුණ Shi Yan 6 නෞකාව තවමත් සිය ගමන් මාර්ගය වෙනස් කර නැත.

මේ අතර මෙම Shi Yan 6 නෞකාව පැමිණීම ගැන ඉන්දීය රජය කනස්සල්ල පළ කර ඇති බව වාර්තාවේ. පසුගිය දා ඉන්දිය සාගර කලාපය සම්බන්ධ සමුළුවට සහභාගීවිමට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා සිය සංචාරය අවසන් කරන්නට කලින් වහාම රටින් පිටත් වූ අතර විදේශ අමාත්‍යංශය හා රජයේ ප්‍රධානීන් සමග චීන පර්යේෂණ යාතා ඉන්දියන් සාගර කලාපයට ඇතුළුවීම බලවත් තර්ජනයක් බව සදහන් කරන ලද බව තොරතුරු වාර්තා දක්වයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හා පර්යේෂණ සඳහා වූ චයිනා ශ්‍රී ලංකා ඒකාබද්ධ මධ්‍යස්ථානය මාධ්‍යයට ප්‍රකාශ කළ කරුණු අනුව ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමට ඉල්ලීමක් කර ඇති චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan Six සමඟ තමන් මෙතෙක් කිසිදු එකඟතාවකට පැමිණ නොමැත.