Monday, 29 April 2024

තේ දළුවල ගුණාත්මකභාවය තහවුරු කිරීමේ B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 සිට අනිවාර්ය කිරීමට තීරණය කරයි

Posted On Friday, 08 December 2023 06:28

තේ දළුවල ගුණාත්මකභාවය තහවුරු කිරීමේ B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 සිට අනිවාර්ය කිරීමට තීරණය කරයි

 

මෙරට නිෂ්පාදිත තේවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 වැනිදා සිට අනිවාර්ය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට පසුගියදා උපදෙස් ලබා දී ඇත.

B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළුවලින් අඩු තරමින් සියයට 60ක්වත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්තවිය යුතුය යන්නයි.

තේ කර්මාන්තයට අයත් සියලු අංශවල නියෝජිතයින් සමග අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව පසුගියදා සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා තේ සන්නාමය මීට දශක කිහිපයකට පෙර ලෝකයම පීළිගත් සන්නාමයක් වූ අතර ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ක්‍රියාකලාප නිසා ශ්‍රීලංකා තේ පිළිබඳ සන්නාමය බරපතල අර්බුදයකට මුහුණ පා ඇත.
මේ නිසා ශ්‍රී ලංකා තේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඇති උසස් පිළිගැනීම නැවත ඇති කරලීම සඳහා තේ දළුවල උසස් ප්‍රමිතිය සහතික කිරීමට B-60 ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ඉදිරියේ දී මෙරට තේ නිෂ්පාදන කර්මාන්තයට හිමි වෙළඳපල ස්ථාපිත කිරීමට නම් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව තේ කර්මාන්ත ශාලාවලට සපයන තේ දළුවල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සදහා B-60 ව්‍යාපෘතිය ජනවාරි මස 01 දින සිට අනිවාර්ය කිරීමේ පියවරට තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන් එකඟතාවය පළ කර ඇත.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට තේ කර්මාන්තය නැවත ගොඩ නැගීමට නම් තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇති බව පැවසීය. තේ දළු නෙලීමේ දී දැනට තේ දළුවලට අමතරව මෝරණ තේ දළුත් මිශ්‍රවීම වළක්වා ගනිමින් මෙම B-60 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

කිසියම් කර්මාන්ත ශාලාවක් මෙම තීරණය උල්ලංඝණය කළහොත් ඔවුන්ගේ බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

 

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකිර්ති, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, ලංකා තේ මණ්ඩලය හා තේ සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් සහභාගි විය‍.