Saturday, 27 April 2024

අධික වර්ෂාව සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

Posted On Tuesday, 02 January 2024 05:30

අධික වර්ෂාව සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

 

දිවයිනේ ගංගාවල තත්වය සැළකීමේදී මහවැලි ගංගාවේ ජල මට්ටම සැළකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බවත් එම ගංගාවේ ඉහළ පිහිටි වික්ටෝරියා , රන්දෙනිගල, රන්ටැඹේ වැනි ජලාශ දිගින දිගටම පිටවාන් දමමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

එම ජලාශවලින් පහළ මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම ගංඟාවේ ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.විශේෂයෙන්ම මහියංගණයෙන් පහළ සිට ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගඟේ ජල මට්ටම අධික වන අතර ඉන් පහළ ජල මට්ටම අද දිනයේ තවදුරටත් ඉහළ යමින් පවතින බවද හෙතෙම සඳහන් කරයි.මේ තත්වය නිසා මහවැලි ගංඟාව භාවිත කිරිම අනතුරුදායක බවත් ‍ඉන් ඉවත් වී කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.විශේෂයෙන්ම මනම්පිටිය, සෝමාවතිය වැනි ප්‍රදේශවල පවතින ජල මට්ටම් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් මෙම තත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසද ඒ මහතා අවධාරණය කරයි.
මහවැලි ගඟ දෙපස පහළ ප්‍රදේශවල පදිංචි මහජනතාව මෙන්ම එම ගංඟාව අවට වැටී ඇති මාර්ග භාවිත කරන රථවාහන රියදුරන් ද මේ තත්වය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසද ඒ මහතා දැනුම් දේ.
අනෙකුත් ගංඟාවල තත්වයන් සැළකීමේදී මාදුරු ඔය ජලාධාර ප්‍ර දේශවලට ලැබී ඇති වර්ෂාපතන තත්වය මත එ් අවට ජීවත් වන ජනතාව සැළකිල්ලනේ කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කෙරේ.දකුණු පළාතේ ගිංගඟ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ගිං ගඟේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් ඇති නමුත් ගිංගඟේ ගංවතුර අවදානමක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.කෙසේ නමුත් ගංඟාවේ ජල මට්ටම අධික බැවින් ගංඟාව භාවිත කිරි‍මේදී සැළකිල්ලලෙන් කටයුතු කරන ලෙසත් සුගීෂ්වර මහතා සඳහන් කරයි.එසේම නිල්වලා ගඟේ ජල මට්ටමද සැළකියයුතු ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම ගංඟාව භාවිත කිරි‍මේදී ද සැළකිලිමත් විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.