Saturday, 27 April 2024

අභිමානවත් 76වන නිදහස් දිනය අදයි

Posted On Sunday, 04 February 2024 13:25

අභිමානවත් 76වන නිදහස් දිනය අදයි

 

76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වෙයි." හදමු අලුත් රටක් '' යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.

මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී වේ.ජාතික නිදහස් දින සම්භාවනීය ආරාධිතයාගේ සම්ප්‍රාප්තියත් සමඟ අභිමානවත් ජාතික නිදහස් උලෙළ ආරම්භ වේ.ජනාධිපති කාර්යාලයීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටුවා ඇති නිදහස් සටනේ ජාතික විරු ප්‍රතිමා අබියස පුෂ්පෝපහාර පිරිනැමීම අද උදෑසන 6.30ට සිදු කෙරේ.

ජාතික නිදහස් දින උලෙළේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීන් විසින් සිදු කරනු ලබයි. ජාතික ගීය ගායනා කිරීම කොළඹ ආරක්ෂක සේවා විදුහල, තර්ස්ටන් විදුහල සහ මහානාම විදුහල, මුස්ලිම් කාන්තා විදුහල, රාජකීය විදුහල, රාමනාදන් හින්දු විදුහල, සහිරා විදුහල, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහා විදුහල, සාන්ත අන්තෝනි බාලිකා විදුහල, සාන්ත පීතර විදුහල, හින්දු විදුහල යන විදුහල්වල සිසු සිසුවියෝ 100 දෙනකු විසින් සිදු කරනු ලබති. එහි සංගීතය මෙහෙයවීම සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය විසිනි.

ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායන කිරීම සිදු කරන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලය, විශාකා විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල යන විදුහල්වල සිසුවියන් 25 දෙනකු විසින් වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය සංගීතය මෙහෙයවයි.

මෙවර ආචාර පෙළපාළිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3042ක්, සන්නද්ධ රථ 77ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් 917ක්, සන්නද්ධ රථ 7ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 605ක් සන්නද්ධ රථ 27ක්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 299ක්, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 209ක්, සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 379ක්, ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයන් 500ක්, විශ්‍රාමික නිලධාරින් 22ක්, ආබාධිත නිලධාරීන් 29කින් සමන්විත වේ.

නිදහස් දින බෞද්ධ ආගමික වතාවත් කොල්ලුපිටිය ධර්මකීර්තිරාමයේදී පැවැත්වේ.එසේම හින්දු ආගමික වතාවත් කොළඹ 4 වජිරා පිල්ලයාන් කෝවිලේදී සිදු කෙරෙන අතර බොරැල්ලේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවන් සිදු කෙරේ.ක්‍රිස්තියානි ආගමික වතාවන් කොළඹ 3 ක්‍රිස්තියානි රෙපරමාදු දේවස්ථානයේදී සිදු කෙරෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 11 ජම්-උල්-අල්ෆර් මුස්ලිම් දේවස්ථානය එනම් රතු පල්ලියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

අද කොළඹ පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව සෑම දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසයකම , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සහ ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.