Sunday, 28 April 2024

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවම මිල ප්‍රකාශයට පත් කරයි.

Posted On Friday, 09 February 2024 08:09

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවම මිල ප්‍රකාශයට පත් කරයි.

 

මෙම වසරේ මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා රජය විසින් වැඩ පිළිවෙළක් සකස් කර ඇති අතර , වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සහණ ණය පදනමක් මත කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් අයිතිකරුවන්, වී ගබඩාකිරීම් කටයුතු කරන තැනැත්තන් හා වී එකතුකරන්නන් යන අංශ තුන සඳහා රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ණය මුදලක් ලබා දී ඔවුන් මගින් වී මිල දී ගැනීමට තීරණය කර ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන වී සඳහා වන අවම මිල දී ගැනීමේ මිල ගණන් යටතේ වී මිල දී ගැනීමේ කටයුතු සිදු කෙරේ.

මේ අනුව මුදල් අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වී සඳහා අවම මිල දී ගැනීම සඳහා වන මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ මිල දී ගනු ලැබිය හැක්කේ 2023/24 මහ කන්නයේ වී අස්වනු පමණි.

එම මිල ගණන් පහත සඳහන් පරිදි වේ.

තෙතමණය සියයට 14 මට්ටමක ඇති වී සඳහා.

නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා වන මිල රු. 105

සම්බා රු. 120

කීරි සම්බා රු. 130

තෙතමණය සියයට 14ට වඩා වැඩි වී සඳහා.

නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා වන මිල රු. 90

සම්බා රු. 100

කීරි සම්බා රු. 120

මෙම වී මිල දී ගැනීම සදහා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සඳහා හා වී එකතුකරන්නන් සදහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් ද වශයෙන් රජය විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ලබා දීමට නියමිතය.

එමෙන්ම මෙම වී මිල දී ගැනීම අධීක්ෂණය කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම මිල ගණන් අනුව 2023/24 මහ කන්නය වී අස්වනු සඳහා ඉහළම මිලක් ලබා දීමට හැකි වී තිබේ.