Saturday, 27 April 2024

ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම හෙට

Posted On Monday, 26 February 2024 06:44

ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම හෙට

 

ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ වෘත්තීය ජනමාධ්‍ය කලාවක් බිහිකිරීමෙහිලා ඉහළ මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් සබුද්ධික ශ්‍රී ලාංකේය ජනමාධ්‍යයක් නිර්මාණය කිරීමේ නූතන ජනමාධ්‍ය අභියෝගය පර්යේෂණාත්මකව අධ්‍යයනය කරමින් ජනමාධ්‍ය දිශානතිය සාධනීය තලයකට රැගෙන යාම සඳහා මාර්ගෝපදේශනයක් ලබා දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය,විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධව ජනමාධ්‍ය විෂයෙහි ශාස්ත්‍රීය හා වෘත්තීය කතිකාවන් බිහිකිරීම වෙනුවෙන් සම්පාදිත ජාතික මාධ්‍ය සංකථන ග්‍රන්ථය තුන්වන වෙළුම ගරු ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ සහභාගීත්වයෙන් හෙට(27) පෙ.ව.9.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධයයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතාගේ සංස්කාරකත්වයෙන් සහ එම විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ, හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ඇතුළුව මහාචාර්ය කමල් වලේබොඩ,මහාචාර්ය අනුර වික්‍රමසිංහ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කළණි ඉරේෂා ධර්මසිරි සහ කථිකාචාර්ය නයනා සුරවීර යන මහත්ම මහත්මීන්ගේ සංස්කාරකත්වයෙන් එළිදක්වා ඇති මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය සඳහා දිවයිනේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ ප්‍රවීන ජනමාධ්‍යවේදීන් නියෝජනය කරමින් ජනමාධ්‍ය අංශවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, ආචාර්යවරුන් පර්යේෂණාත්මක සහ ශාස්ත්‍රීය ලිපි මෙහි ඇතුලත්වේ.

මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථයේ මෙවර තේමාව වී ඇත්තේ “සංඛ්‍යාක සංස්කෘතිය මාධ්‍ය ආචාර ධර්ම සහ නියාමනය” වන අතර නූතන මාධ්‍ය ප්‍රවණතා සැළකිල්ලට ගෙන ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය කලාවේ දිශානතිය කෙසේ සකස් විය යුතුද යන්න ශාස්ත්‍රීයව සහ පර්යේෂණාත්මකව අධ්‍යයනය කරමින් මෙම ශාස්ත්‍රීය කතිකාවක් ආරම්භ කර තිබේ.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම, මාධ්‍ය ආචාරයට පිළිබඳව පොදු පිළිගැනීමක් ඇතිවිය යුතු බවට සමාජයේ සෑම ස්ථරයකම සංවාදයකට ලක් වී ඇති කාලපර්ච්ඡේදයක ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්,ජනමාධ්‍ය කළමනාකරුවන්,ජනමාධ්‍ය වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ව ශ්‍රී ලංකාවේ ගුණාත්මක මාධ්‍ය සාක්ෂරතාවය සහ වෘත්තීය ජනමාධ්‍ය කලාවන් වෙනුවෙන් පොදු මතයක් නිර්මාණය කිරීම උදෙසා මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය තුළින් විද්වත් කථිකාවක් ආරම්භ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය පවසයි.

මෙම ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය වෘත්තීය ජනමාධ්‍යවේදීන්,ජනමාධ්‍ය විද්‍යාර්ථයින්, ජනමාධ්‍ය පර්යේෂකයින්,ජනමාධ්‍ය විෂයභාර පාසල් ගුරුවරුන් සහ පාසල් ජනමාධ්‍ය සමාජ ගුරුවරුන්ගේ දැනුම සහ වෘත්තීයභාවය සංවර්ධනය කිරීම උදෙසා ඉතා වැදගත් ශාස්ත්‍රීය කෘතියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රාජ්‍ය මාධ්‍ය ආයතනවල ජනමාධ්‍ය ප්‍රධානීන්, ජනමාධ්‍ය වෘත්තිකයන්, පාසල් මාධ්‍ය සමාජ භාර ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.