Saturday, 27 July 2024

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්

Posted On Thursday, 06 June 2024 10:15

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්

 

පූර්ණ පෞරුෂයෙන් යුතු දරු පරපුරක් බිහි කිරීම උදෙසා වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සිසුන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශිෂ්‍ය සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත. එම වැඩසටහන් යටතේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ මගපෙන්වීම අනුව නව ව්‍යාපෘතියක් ලෙස වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය.

පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්වයන් වලක්වාගැනීමත් මෙමගින් අපේක්ෂිත ය.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත. ඒ අනුව එක් සිසුවියකට රු.1200.00ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර ඇත.

මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිසුවියන්ගේ වගකීමකි.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය. එය රු. 600.00ක වටිනාකමින් යුත් ‘ඒ‘ හා ‘බී‘ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි ‘ඒ‘ කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 - 2024.07.10 දක්වා වේ. අනෙක් ‘බී‘ කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 - 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදු කළ යුතු වේ.